slc
logo
Home   |    News
පෙබරවාරි 15, 2024
ශ්‍රී ලංකාව ගාම්භීරව එක්දින තරගාවලිය නිම කරයි

Sri Lanka Cricket

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව අද (14) ගාම්භීර අයුරින් නිමාවට පත් කළේ තෙවන එක්දින තරගය ද කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද තරග 3 – 0කින් ජය ගනිමිනි.

 තෙවන එක්දින තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 48.2කදී ලකුණු 266කට සීමා කළ ලංකා කණ්ඩායම පිළිතුරු ලෙසින් කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 267ක් රැස් කළේ පන්දුවාර 35.2කදී තවත් පන්දුවාර 14.4ක්ම ඉතිරිව තිබියදීය.

  තෙවන එක්දින තරගයේදීත් ලකුණු 118ක් රැස් කරමින් තරගාවලියේදී ද්විත්ව ශතකයක් සහ ශතකයක් සමඟ 346ක් රැස් කළ දකුණත් ආරම්භක පිතිකරු 25 හැවිරිදි පැතුම් නිශ්ශංක තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස නම් කැරිණි.

පැතුම් මේ තරගාවලියේ ප්‍රථම තරගයේදී ලකුණු 210ක් ද තෙවන තරගයේදී ලකුණු 118ක් ද රැස් කළ අතර ඔහුගේ සහය ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ශතක දෙකක් මෙහිදී අහිමි වුයේ ප්‍රථම තරගයේදී ලකුණු 88ක් ද තෙවන තරගයේදී ලකුණු 91ක් ද ලබා සිටියදීය.

 තරග තුනක එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාව 3 – 0කින් ජයගත් (Whitewash) එකොළොස් වන වතාව මෙය වේ. මෙයින් තරගාවලි නවයක්ම ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. 

 තරගාවලියේ වීරයා පැතුම් නිශ්ශංක මේ එක්දින තරග තුනේදී ලකුණු 346ක් රැස් කරන අවස්ථාවේ එක්දින ලකුණු දෙදහස වේගයෙන්ම ඉක්ම වූ ශ්‍රී ලංකා පිතිකරු බවට ද පත්විය. ඔහු මේ සඳහා එක්දින තරග 53කට මුහුණ දී සිටී. වත්මන් තේරීම් කමිටු සභාපති ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග මෙහි කලින් වාර්තාව උසුලන අතර පැතුම් ඊට ළඟා වී ඇත්තේ උපුල් තරංගට වඩා තරග 11කට කලිනි.

 තෙවන එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ ලකුණු 266 අභිබවා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසි අවස්ථාවේ පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු ලංකා ප්‍රථම කඩුල්ලට ලකුණු 173ක් රැස් කළේ පන්දුවාර 23කදීය. එය පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු 7.5කට ආසන්න වේ. මේ පිතිකරුවන් දෙදෙනා ප්‍රථම එක්දින තරගයේදී (09) මුල් කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 182කි.

 අවිශ්ක ප්‍රනාන්දු ශතකය ලැබීමට ලකුණු නවයක් පමණක් අඩුව සිටියදී කයිස් අහමඩ්ගේ පන්දුවකට ෂරෆුඩින් අස්රෆ් උඩපන්දුවක් රැක ගැනීමෙන් දැවී යන විට පන්දු 66කට පමණක් මුහුණ දී හතරේ දහයක් සහ හයේ පහර පහක් එල් කර සිටියේය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට තවත් ලකුණු 16ක් අවශ්‍යව තිබියදී ලකුණු 40ක් ලබා සිටි අංක තුන පිතිකරු නායක කුසල් මෙන්ඩිස්, මොහමඩ් නබීගේ පන්දුවක් කුසල්ගේ පිත්තේ වැදී කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය. කුසල් මෙන්ඩිස් පන්දු 29කට මුහුණ දී හයේ පහර හතරක් ද එල්ල කර තිබිණි.

 ඊට පන්දු තුනකට පසුව කයිස් අහමඩ්ගේ පන්දුවකට පැතුම් නිශ්ශංක හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ ගනිද්දී පන්දුව පිත්තේ උඩ කොටසෙහි වැදී උඩු ගුවනට යාමේදී මොහමඩ් නබී උඩපන්දුව රැක ගැනීමෙන් කයිස් අහමඩ්ට දෙවන කඩුල්ල ලබාදී නිශ්ශංක දැවී ගියේ ලකුණු 118කටය. ඔහු පන්දු 101කට මුහුණ දී හතරේ 16ක් සහ හයේ පහර දෙකක් එල්ල කළේය. 

 ලංකා ඉනිම නතර කරන විට සධීර සමරවික්‍රම නොදැවී ලකුණු අටක් ද (පන්දු 5යි හතරේ පහරයි) උපනායක චරිත් අසලංක නොදැවී ලකුණු 07ක් ද (පන්දු 13යි) ලබා සිටියහ.

 මේ තරගයට ලංකා කණ්ඩායම ඉදිරිපත් වුයේ ඔවුනගේ ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විවේක ගන්වා දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඒ වෙනුවට යොදවමිනි.

 ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කර පන්දුවාර 48.2කදී සියලු ක්‍රීඩකයන් ලකුණු 266කට දැවී ගියේ පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු 5.5ක වේගයක් රඳවා ගනිමිනි.

 දිල්ෂාන් මධුශංඛ යැවු තරගයේ ප්‍රථම පන්දුවාරයට ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් හතරේ පහර හතරක් සමඟ ලකුණු 17ක් ලබා ගනිමින් ඉනිම ආරම්භ කළේ ප්‍රබල අයුරිනි. ඇෆ්ගනිස්තානය කඩුලු තුනකට ලකුණු 166ක් ද තවත් අවස්ථාවක කඩුලු පහකට ලකුණු 237ක් ද රැස් කරමින් ලකුණු තුන්සියය ඉක්මවන ලකුණු පහළ කරමින් සිටියත් මීට පෙර තරගයේ මෙන්ම මේ තරගයේදීත් අවසාන කඩුලු කිහිපය අඩු ලකුණු සංඛ්‍යාවකට (ලකුණු 43කට කඩුලු 5යි) දැවීයාමෙන් ඔවුනගේ ඉනිම 266කට සීමා විණි.

 මේ එක්දින තරගාවලිය පුරාම ඇෆ්ගනිස්තාන පිතිකරුවන් තෙවරක්ම පහ බැගින් සහ ඊට වැඩි සංඛ්‍යාවක් එක දිගට වැළකට මෙන් දැවී ගියේ අඩු ලකුණු සංඛ්‍යාවන්ටය. ප්‍රථම තරගයේ (09 වැනිදා) ලකුණු 382ක ඉලක්කයක් කරායද්දී ඔවුනගේ ප්‍රථම කඩුලු පහ පන්දුවාර 8.3කදී ලකුණු 55කටත් දෙවන තරගයේදී (11 වැනිදා) අවසාන කඩුලු අට පන්දුවාර 4.1කදී ලකුණු දහයකටත් අද (14) තුන්වන සහ අවසාන එක්දින තරගයේ අවසාන කඩුලු පහ පන්දුවාර 8.3කදී ලකුණු 43කටත් දැවී තිබිණි. ප්‍රබල කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තානයට ජාත්‍යන්තර එක්දින පිටියේ හොඳින් දස්කම් දැක්වීමට නම් ඔවුනගේ මේ දුර්වලතාවය මග හරවා ගැනීමට ඉක්මනින්ම සිදු වනු නියතය.

 ඔවුනගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 48ක් ද (පන්දු 57යි හතරේ හයයි හයේ පහරයි) සහ ඊබ්‍රහිම් සඩ්රන් ලකුණු 13ක් ද (පන්දු 10යි හතරේ තුනයි) ප්‍රථම කඩුල්ලට ලකුණු 39ක් වේගයෙන් රැස් කළේ පන්දුවාර 4.1ක් වැනි කෙටි කාලයකදීය. ඊබ්‍රහිම් සඩ්රන් මුළු ලකුණු 39දී දුවද්දී දැවීයාමට හසුව දැවීයාමෙන් පසුව දෙවන කඩුල්ලට ගුර්බාස් සහ අංක තුන පිතිකරු රහ්මට් ෂා ලකුණු 57ක් රැස් කරමින් (පන්දු 77කදී) ලකුණු සංඛ්‍යාව 96 දක්වා ඉහළ නැං වූහ. මේ අවස්ථාවේ ප්‍රබල පිතිකරු ගුර්බාස් ලකුණු 48කට දැවී ගියේ අකිල ධනංජයගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

 ඇෆ්ගනිස්තාන නායක හස්මතුල්ලා ෂහිඩි ලකුණු පහක් පමණක් ලබා සිටියදී අකිල ධනංජයගේ පන්දුවකට පැතුම් නිශ්ශංකට උඩපන්දුවක් දී තෙවන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 108දීය.

ඇෆ්ගනිස්තානයේ වැඩිම ලකුණු සබඳතාවය දක්නට ලැබුණේ රහ්මට් ෂා සහ අස්මතුල්ලා ඔමාර් සායි සිව්වන කඩුල්ලට පන්දු 59කදී (පන්දුවාර 9.5යි) එක් කළ ලකුණු 70ය. මුළු ලකුණු 166දී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මට් ෂා (ලකුණු 65) සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ වෙල්ලාලගේ එවු පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. රහ්මට් ෂා හතරේ පහර හතක් සහ හයේ පහරක් ද එල්ල කිරීමට සමත් විය.

 වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ වෙනුවට කණ්ඩායමට එක් වූ දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය රහ්මට් ෂා සහ රාමනුල්ලා ගුර්බාස් යන ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා දවාලීමට සමත්වීමෙන් මේ පන්දු යවන්නන් දෙදෙනාගේ දක්ෂතාවයන් මැනවින් කැපී පෙනේ.

 අස්මතුල්ලා ඔමාර් සායි (ලකුණු 54යි පන්දු 59යි හතරේ හතරයි) සහ ඉක්රම් අලිකිල් (ලකුණු 32යි පන්දු 38යි හතරේ දෙකයි හයේ පහරයි) පස්වන කඩුල්ලට පන්දුවාර දහයකදී (පන්දු 60) එක් කළ ලකුණු 57 ද ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව සම කිරීමකි.

 මුළු ලකුණු 223 ඉක්රම් අලිකිල් (32) වෙල්ලාලගේ එවු පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ද මුළු ලකුණු 237දී අස්මතුල්ලා ඔමාර් සායි (54) වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු එවු පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ද දැවී යාමෙන් පසු අගපෙළ ඉනිම අඩු සංඛ්‍යාවන්ට දැවී ගියහ.

 ලකුණු පුවරුව

ඇෆ්ගනිස්තානය පන්දුවාර 48.2කදී සියල්ල දැවී 266යි – (රහ්මට් ෂා 65, අස්මතුල්ලා ඕමාර් සායි 54, රාමනුල්ලා ගුර්බාස් 48, ඉක්රම් අලිකිල් 32, ඊබ්‍රහිම් සඩ්රන් 13, මොහමඩ් නබී 14, ප්‍රමෝද් මධුශාන් 45/3, අසිත ප්‍රනාන්දු 44/2, දුනිත් වෙල්ලාලගේ 38/2, අකිල ධනංජය 54/2

ශ්‍රී ලංකාව පන්දුවාර 35.2කදී කඩුලු 3ට 267යි – (පැතුම් නිශ්ශංක 118, අවිශ්ක ප්‍රනාන්දු 91, කුසල් මෙන්ඩිස් 40, කයිස් අහමඩ් 46/2, මොහමඩ් නබී 46/1 

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee