රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි 20 තරග තුනක තරගාවලියේ අද (19) පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ සියලුම අංශයන්ගෙන් ඇෆ්ගනිස්තානය අන්ත පරාජයටකට ලක් කරමින් ලකුණු 72ක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද මේ වන විටත් පහසුවෙන් ජය ගනු ලැබුවේ 2 – 0ක් ලෙසිනි.
ශ්‍රී ලංකා පිතිකරුවන් සුවිශේෂී දක්ෂතා දක්වමින් ඕවර 20 අවසානයේ කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු 187ට පිළිතුරුදීමේදී ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ අසරණ වෙමින් කණ්ඩායමම ඕවර 17ක් තුළ දැවී ගියේ ලකුණු 117කටය. වරක් ඔවුන්ගේ ඉනිම ආරම්භයේදීම ඕවර 4.3ක් ගත වන විට කඩුලු පහක් දැවී ලබා සිටියේ ලකුණු 31ක් පමණකි.
ශ්‍රී ලංකාව තම මව්බිමේදී විස්සයි 20 තරගාවලියක් ජයගත් තෙවැනි අවස්ථාව මෙය වේ. පන්දු 22කට මුහුණ දී දර්ශනීය හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 42ක් රැස් කර පසුව ලකුණු නවයකට කඩුලු දෙකක් දවාලු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන 36 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කැරිණි.
පාදයේ කලවා ප්‍රදේශයේ මස්පිඬු පෙරළීමකින් ආබාධයකට ලක්ව සිටි මැතිව්ස් තරගයට පෙර යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී එය සමත්වීමෙන් පසුව තරගයට සහභාගි විය. දකුණතින් පිත්ත හසුරු වන දකුණතින් මඳ වේගපන්දු යවන මැතිව්ස් මෙදින සහභාගි වූයේ සිය 83 වන විස්සයි 20 තරගයටය.
තමාට ලැබුණු අවස්ථාවට සාධාරණත්වයක් ඉටු කළ ඇන්ජලෝ මැතිව්ස් ලංකා ඉනිමේ අවසාන කඩුල්ල වූ හයවන කඩුල්ලට සධීර සමරවික්ර සමඟ (ලකුණු 51යි පන්දු 42යි හතරේ පහයි) පන්දු 34කදී ලකුණු 66ක සබඳතාවයක් රැස් කර කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ. මැතිව්ස් පසුව ආරම්භක පන්දු යවන්නා ලෙස ක්‍රියාත්මක වෙමින් ඇෆ්ගනිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හස්රතුල්ලා සසායි (01) සහ ඊබ්‍රහිම් සඩ්රන් (10) මුළු ලකුණු 19ක් වන විට ක්‍රීඩාගාරයට යවමින් ලංකා ජයග්‍රහණයට ජය මාවත විවෘත කළේය. සධීර සමඟ මැතිව්ස් රැස් කළ ලකුණු 66න් ලකුණු 42ක්ම රැස් කළේ මැතිව්ස්ය. (පන්දු 22යි) ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 190.90කි.
කණ්ඩායම් දෙක අතර තරගාවලිය පුරාම පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දක්වන ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග මෙදින නජිබුල්ලා සඩ්රන් දවා තම සියවන විස්සයි විස්ස කඩුල්ල දවාලුවේ මෙලෙස කඩුලු සියය වේගයෙන්ම ලැබු ලොව දෙවන පන්දු යවන්නා බවට පත් වෙමිනි.
63 වන එක්දින තරගයට සහභාගි වන වනිඳු හසරංග මේ වන විට ජාත්‍යන්තර විස්සයි 20 තරග 63කදී කඩුලු 101ක් ලබා සිටී. මේ තරගාවලිය පුරාම ලකුණු රැස් කිරීමේදීත් පන්දු යැවීමේදීත් විශිෂ්ට දස්කම් පාමින් සිටින නායක වනිඳු හසරංග ප්‍රථම තරගයේදී කඩිනමින් අර්ධ ශතකයක් රැස් කළ ආකාරයට මෙදිනත් පන්දු නවයකට පමණක් මුහුණ දී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 22ක් ලබා සිටියදී මොහමඩ් නබීගේ පන්දුවකට තවත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ ගනිද්දී හතරේ සීමාවේම සිටි ඊබ්‍රහිම් සඩ්රන් එය හයේ පහරකට යාමට නොදී දක්ෂ ලෙස රැකගැනීමෙන් දැවී ගියේය. වනිඳුට තවත් මඳ වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව උදා වුයේ නම් ඇෆ්ගනිස්තානයට තත්ත්වය මීට වඩා භයානක වීමට අවකාශ තිබිණි.
ප්‍රථම තරගයේදී මෙන්ම මේ තරගය නැරැඹීමටත් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම පිරෙන්නට අති විශාල ජනකායක් පැමිණ සිටිනු දක්නට ලැබිණි. තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට දක්වන දක්ෂතා කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුතුව ක්‍රීඩාලෝලීහු දඹුලු ක්‍රීඩාංගණයට පිවිසෙනුයේ වැළ නොකැඩීය. ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණයකට ලෙඩ් විදුලි බල්බ සහිත විදුලිය දඹුල්ලට හඳුන්වා දුන්නේ මේ තරගයටය. වසර හයක කාලයකට පසු නැවත මෙහි තරග ආරම්භ කිරීමෙන් පසුව මේ වන විට අවට දිස්ත්‍රික්කයන්ගෙන් තරග නැරැඹීමට පැමිණෙන පිරිස අතිමහත්ය.
එලෙස දඹුල්ල ප්‍රදේශයේ ජනතාවට ද රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැපයීම ඈත පෙදෙස්වල සිට පැමිණෙන ජනකායට නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීමෙන් ද ආර්ථික වශයෙන් මේ දිනවල සීග්‍ර පිබිදීමක් ද ඇතිව තිබෙන අයුරු දක්නට ලැබේ.
ඇෆ්ගනිස්තානය මේ තරගයේ ද කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම ආරම්භ කළේ ප්‍රහාරාත්මක අයුරිනි. ආරම්භක පිතිකරු යුගල පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් පන්දුවාර 3.5කදී (පන්දු 23කදී) ප්‍රථම කඩුල්ලට වේගවත් ලකුණු 45ක් එක් කළ අවස්ථාවේ පැතුම් නිශ්ශංක ඔමාර්සායිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු 25කට දැවී යන විට පන්දු 11කට පමණක් මුහුණ දී හතරේ පහර පහක් ද එල්ල කර තිබිණි. මුළු ලකුණු 49දී ශ්‍රී ලංකා දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස්, ෆසලාක් ෆාරුකිගේ පන්දුවකට නූර් අහමඩ්ට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු 23ක් (පන්දු 14යි හතරේ හතරයි) රැස් කර සිටියදීය.
ධනංජය ද සිල්වා මුළු ලකුණු 86දී ලකුණු 14කට (පන්දු 14යි හතරේ පහරයි) ලබා සිටියදී දැවී ගියේ මොහමඩ් නබීගේ පන්දුවකට නායක ඊබ්‍රහිම් සඩ්රන් උඩපන්දුවක් රැක ගැනීමෙනි. ශ්‍රී ලංකා සිව්වන කඩුල්ල ලෙස මුළු ලකුණු 110දී (පන්දුවාර 11.4යි) නායක වනිඳු හසරංග හයේ පහරකට යාමට .උත්සාහ දරද්දී දැවී ගියේය. උපනායක චරිත් අසලංකට මෙදින එතරම් වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව උදා නොවීය. චරිත් මුළු ලකුණු 121දී (පන්දුවාර 14.2යි) ඔමාර්සායිගේ පන්දුවකට නවීන් උල් හක් උඩපන්දුවක් රැක ගැනීමෙන් පස්වන කඩුල්ල ලෙස දැවී ගියේය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ සධීර සමරවික්‍රමගේ සාර්ථක පිතිහරඹය හයවන කඩුල්ල ආරම්භ වූයේ මෙතැන් සිටය.
ශ්‍රී ලංකාව පන්දුවාර (ඕවර) පහේදී කඩුලු දෙකකට ලකුණු 53ක් ද පන්දුවාර දහයේදී කඩුලු තුනකට ලකුණු 87ක් ද පන්දුවාර 15දී කඩුලු පහකට ලකුණු 122ක් ද පන්දුවාර 20 අවසානයේ අවසාන පන්දුවේදී සධීර සමරවික්‍රම හිට් විකට් යාමෙන් ලකුණු 51කට දැවී යන විට කඩුලු හයකට ලකුණු 187ක් ද ලබා සිටියහ.
හයවන කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සහ සධීර සමරවික්‍රම පන්දු 34කදී එක් කළ ලකුණු 66ත් ප්‍රථම කඩුල්ලට පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් පන්දු 23කදී රැස් කළ ලකුණු 45ත් ලංකා ඉනිමේ හොඳම සබඳතාවයන් වේ.
ඇෆ්ගනිස්තානය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ මැතිව්ස් මුළු ලකුණු 19ක් වන විට ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු යුගල හස්රතුල්ලා සසායි (01) සහ නායක ඊබ්‍රහිම් සඩ්රන් (10) දවාලුවේය. තෙවන කඩුල්ල ලකුණු 30දී දැවී ගියේ (පන්දුවාර 2.2යි) මහීෂ් තීක්ෂණගේ පන්දුවකට රාමනුල්ලා ගුර්බාස් (13) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. බිනුර ප්‍රනාන්දු සිය දෙවන පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවට ගුල්බඩින් නයිබ් ලකුණු හතරකටත් එම ඕවරයේම තෙවන පන්දුවට ඔමාර්සායි (00) දවාලීමත් සමඟ ඔවුනගේ මුළු ලකුණු තත්ත්වය කඩුලු පහකට 31ක් බවට පත්විණි.
ඇෆ්ගනිස්තාන පිතිකරුවන් අතුරින් පසුව ලකුණු අතරට පිවිසි කරිම් ජනට් ලකුණු 28ක් ද (පන්දු 23යි හතරේ 2යි හයේ පහරයි) සහ මොහමඩ් නබී ලකුණු 27ක් ද (පන්දු 17යි හතරේ පහරයි හයේ දෙකයි) රැස් කළහ. මොවුන් දෙදෙනා හයවන කඩුල්ලට රැස් කළ ලකුණු සංඛ්‍යාව 39කි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 6කට 187යි – (සධීර සමරවික්‍රම 51, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, පැතුම් නිශ්ශංක 25, කුසල් මෙන්ඩිස් 23, වනිඳු හසරංග 22, ධනංජය ද සිල්වා 14, මොහමඩ් නබී 25/2, අස්මතුල්ලා ඔමාර්සායි 40/2, ෆසලාක් ෆාරුකි 31/1)
ඇෆ්ගනිස්තානය පන්දුවාර 17දී සියල්ල දැවී 117යි – (කරිම් ජනට් 28, මොහමඩ් නබී 27, රාමනුල්ලා ගුර්බාස් 13, ඊබ්‍රහිම් සඩ්රන් 10, ඇන්ජලෝ මැතිව්ස් 9/2, බිනුර ප්‍රනාන්දු 18/2, වනිඳු හසරංග 19/2, මතීෂ පතිරණ 22/2, දසුන් ශානක 17/1, මහීෂ් තීක්ෂණ 30/1යි)
බන්දුල මොල්ලිගොඩ