ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (පෙබරවාරි 09) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සවස 2.30ට ආරම්භ වීමට නියමිතය.
ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වූ ටෙස්ට් ක්‍රිකට් තරගය මීට දින තුනකට පෙර ශ්‍රී ලංකාවට කඩුලු දහයක පහසු ජයක් අත්වෙමින් නිමාවට පත්වුයේ සම්පූර්ණ දින එකහමාරක් ද ඉතිරිව තිබියදීය. ජනවාරි මස (ගිය මස) ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තරග 2 – 0කින් සිම්බාබ්වේද පරාජය කර සිටින හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග තුනක එක්දින තරගාවලියට සිකුරාදා (09) ඇෆ්ගනිස්තානය සමඟ තරගවදිනුයේ ශක්තිමත් ජයග්‍රාහී මානසිකත්වයකින් ද යුතුවය.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින කණ්ඩායම් මීට පෙර දොළොස් වතාවක් තරග වැදි තිබුණත් තරග තුනක තරගාවලියකට මෙවර සහභාගි වනුයේ ප්‍රථම වතාවටය. මේ එක්දින තරග තුන පැවැත්වෙනුයේ පෙබරවාරි 9,11 සහ 14 යන දිනවල පල්ලේකැලේදී සවස 2.30 සිට දිවා – රාත්‍රී තරග ලෙසින් පැවැත් වේ.
මේ කණ්ඩායම් දෙක මෙතෙක් සහභාගි වී සිටින තරග 12න් ශ්‍රී ලංකාව තරග හතකින් ද ඇෆ්ගනිස්තානය තරග හතරකින් ද ජයගෙන තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්කර සිටී. ශ්‍රී ලංකාව ලත් ජයග්‍රහණ හතෙන් තුනක් ශ්‍රී ලංකාවේදීත් ඉතිරි තරග හතර වෙනත් රටවලදීත් හිමිකරගෙන සිටී. ඇෆ්ගනිස්තානය ලත් ජයග්‍රහණ හතරෙන් දෙකක් එතෙර තරගාවලියන්හිදී ලබා ඇති අතර ඉතිරි තරග දෙක ජය ලබා ඇත්තේ ඔවුන් විසින් සංවිධානය කරන ලද තරගය. (ඩුබායි)
අවසාන වරට මේ කණ්ඩායම් දෙක තරග වැදුණේ ගිය වසරේ ලෝක කුසලාන තරගාවලියේ ඔක්තෝබර් 30 වැනිදා ලෝක කුසලාන එක්දින තරගාවලියේදීය. ඇෆ්ගනිස්තානය එම තරගයෙන් කඩුලු හතක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව 241 ඇෆ්ගනිස්තානය කඩුලු තුනට 242යි.
සිකුරාද (09) ආරම්භ වන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය ( 3 – 0) සඳහා නම් කර සිටින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් තිදෙනකුම මෙවර ඉවත් කර ඇත. එලෙස ඉවත් කෙරුණ ක්‍රීඩකයන් වන්නේ දසුන් ශානක, නුවනිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේය. චාමික කරුණාරත්න මේ තරගාවලියේදී දසුන් ශානකගේ තුන් ඉරියව් ක්‍රීඩක ස්ථානයට පත්වේ.
ශ්‍රී ලංකාව සමඟ පැවැති අවසාන ලෝක කුසලාන එක්දින තරගයෙන් කඩුලු හතක ජයක් ලැබු ඇෆ්ගනිස්තාන කණ්ඩායමම මෙවර ශ්‍රී ලංකා සංචාරයට නම් කර නොමැත.
සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලියට ඩෙංගු රෝගය වැළඳීමෙන් සහභාගි නොවු පැතුම් නිශ්ශංක මේ තරගාවලිය සඳහා නම් කර සිටී.
ශ්‍රී ලංකා සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උපනායක) අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුශාන්, සහන් ආරච්චිගේ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න සහ ෂෙවෝන් ඩැනියල්
ඇෆ්ගනිස්තාන සංචිතය – හස්මතුල්ලා ෂාහිඩි (නායක), රහ්මට් ෂා (උපනායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඉක්රම් අලිකිල්, ඊබ්‍රහිම් සඩ්රන්, රියාස් හසන්, අස්මතුල්ලා ඕමාර්සායි, මොහමඩ් නබි, ගුල්බඩින් නයිබ්, ක්වයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජිබ් උර් රෙහ්මන්, ෆසායික් ෆාරුක්, නවීඩ් සඩ්රන් සහ ෆාරුක් අහමඩ්
බන්දුල මොල්ලිගොඩ