slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2024
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් තරගය සිකුරාදා (02)

Sri Lanka Cricket

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සිකුරාදා (02) උදේ 10.00 ට මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ ඓතිහාසික තරගයේදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරණුයේ ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව) සහ හස්මතුල්ලා ෂහිඩි ය. (ඇෆ්ගනිස්තානය)

2018 ටෙස්ට් වරම් දිනාගත් ඇෆ්ගනිස්තානය කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග හතකට සහභාගි වී තරග තුනක් ජයගෙන හතරක් පරාජය වී සිටී. ඔවුන් ප්‍රථම වරට 2018දී ඉන්දියාව සමඟත් අවසාන වරට බංග්ලාදේශය සමඟත් තරග වැදුණු අතර එම තරග දෙකෙන්ම පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව 1982 ප්‍රථම වරට එංගලන්තය සමඟ වනාතමුල්ල ඕවල් (පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය) පිටියේදීත් අවසාන වරට පාකිස්තානය සමඟ 2023 කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී තරග වැදුණු අතර එම තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව 1982 සිට මේ දක්වා ටෙස්ට් තරග 313කට සහභාගි වී තරග සියයක් ජය ගෙන තරග 121ක් පරාජය වී තරග 92ක් ජයපැරැදුමින් තොරව කෙළවර කර සිටී.

ඇෆ්ගනිස්තානය 2018 සිට මේ දක්වාම ටෙස්ට් තරග හතකට පමණක් සහභාගි වී සිටියත් ශ්‍රී ලංකාව මේ වසරේදී (2024) පමණක් ටෙස්ට් තරග අටකට සහභාගිවීමට නියමිතය. සිකුරාදා (02) ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්තානය සමඟ තරග වදින්නේ මේ වසරේ ප්‍රථම ටෙස්ට් තරගය ලෙසිනි.

ශ්‍රී ලංකාවේ අඩුවේග තණතිලි දඟපන්දු යවන්නන්ට වාසිදායක වන බවට මතයක් ලොව පුරා පැවැතියත් ඇෆ්ගනිස්තානය සිකුරාදා (02) තරගයට ඉදිරිපත් වන්නේ ඔවුනගේ දක්ෂතම දඟපන්දු යවන්නා වන රෂිඩ් ඛාන් නොමැතිවය.  ඇෆ්ගනිස්තානයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරගාවලි තුනේදීම දක්ෂතම දඟපන්දු යවන්නා ලෙසට නම් දරා සිටින රෂිඩ් ඛාන් පාදයේ ආබාධයක් මත මීට මාස දෙකකට පමණ පෙර ශල්‍ය කර්මයකට භාජනය වී මේ වන විට විවේක සුවයෙන් පසු වේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට ඉදිරිපත් වනුයේ තවත් හිටපු නායකයන් තිදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න ද ලංකා සංචිතයට ඇතුළත්වය. ප්‍රබල පිතිකරුවන් හත්දෙනකු වන දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක (ආරම්භක පිතිකරුවන්) කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම සංචිතයට අයත් වන අතර කණ්ඩායමට එක් වන දඟපන්දු යවන්නන් දෙදෙනා වනුයේ ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස්ය. අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත පළපුරුදු වේගපන්දු යවන්නන් ලෙස සංචිතයට එක්වෙති.

චාමික ගුණසේකර, මිලාන් රත්නායක (දකුණත් වේගපන්දු යවන්නන්) සහ ළහිරු උදාර (ආරම්භක පිතිකරු) කණ්ඩායමේ සංචිතයට අලුතින් එක්ව සිටී. ලංකා කණ්ඩායම නම් කරනුයේ සිකුරාදා උදෑසනය.

පැතුම් නිශ්ශංක (ආරම්භක පිතිකරු) දිල්ෂාන් මධුශංඛ (වේගපන්දු යවන්නා) සහ කුසල් ජනිත් පෙරේරා (පිතිකරු) ලංකා සංචිතයට ඇතුළත්ව නොමැත.

නායක ධනංජය ද සිල්වා ලංකා කණ්ඩායමට නායකත්වය දෙන පළමු තරගය මෙය වන අතර ඔහු 18 වන ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස ඉතිහාසයට එක් වේ.

තණතිලි අනපේක්ෂිත අයුරින් වෙනස්වීමට ඉඩ ඇති හෙයින් එය හොඳින් අවබෝධ කරගෙන අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනගේ උපදෙස් මත ක්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසි අත්කර ගත හැකි බව පවසන ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පන්දු රකින්නන් උපරිමයෙන් තම දක්ෂතා පෙන්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද කියයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

ධනංජය ද සිල්වා (නායක) කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු උදාර, චාමික ගුණසේකර, මිලාන් රත්නායක

ඇෆ්ගනිස්තාන සංචිතය

හස්මතුල්ලා ෂහිඩි (නායක) අබ්දුල් මලික්, බහිර් ෂා, ඊබ්‍රහිම් සඩ්රන්, ඉක්රම් අලිකිල්, මොහමඩ් ඉෂාක්, නසිර් ජමාල්, නවීඩ් සඩ්රන්, නිජට් මසූඩ්, නූර් අලි සඩ්රන්, කයිස් අහමඩ්, රහ්මට් ෂා, යමින් අහමඩ් සායි, සහිර් ඛාන්, සියා උර් රෙහ්මන්

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee