slc
logo
Home   |    News
මාර්තු 12, 2024
ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරග 13 සිට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින සීමිත ඕවර තරගාවලිය බදාදා (13) චට්ටොගෝන් ෂාහුර් අහමඩ් චවුඩ්රි ක්‍රීඩාංගණයේදී දහවල් 2ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් දෙක මේ ක්‍රීඩාංගණයේදීම සිකුරාදා (15) දෙවන එක්දින තරගයටත් සඳුදා (18) තෙවන එක්දින තරගයටත් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් බදාදා (13) තරගවදිනුයේ 55 වන වතාවටය. මීට පෙර පැවැති තරග 54න් ශ්‍රී ලංකාව තරග 42කින් ද බංග්ලාදේශය තරග 10කින් ද ජය ගෙන ඇති අතර තරග දෙකක් නිමව ඇත්තේ තීරණයක් නොමැතිවය.

ලංකා කණ්ඩායම ජයගෙන ඇති තරග 42න් තරග 20ක්ම ජයගෙන ඇත්තේ තම මව්බිමේදීය. ශ්‍රී ලංකාව තවත් තරග 14ක් බංග්ලාදේශයේදී ජයගෙන ඇති අතර තවත් තරග අටක් වෙනත් විදේශයන්හිදී ජයගෙන තිබේ.

බංග්ලාදේශය ජයගෙන ඇති තරග දහයෙන් හයක් ජයගෙන ඇත්තේ බංග්ලාදේශයේදීය. තරග දෙකක් ශ්‍රී ලංකාවේදීත් තවත් තරග දෙකක් වෙනත් රටවලදීත් මොවුන් ජයගෙන තිබේ.

කණ්ඩායම් දෙක අතර අවසානවරට පැවැති තරග පහෙන් ශ්‍රී ලංකාව තරග තුනක් ද බංග්ලාදේශය තරග දෙකක් ද ජයගෙන සිටී.

අවසාන වරට 2023 නොවැම්බර් 06 වැනිදා කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 279ට පිළිතුරු ලෙස බංග්ලාදේශය කඩුලු 7කට ලකුණු 282ක් ලබා කඩුලු තුනක ජයක් ලැබීය. ඉන් පෙර පැවැති තරග තුනම ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

2023 සැප්තැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාව කඩුලු 9ට ලැබු ලකුණු 257ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ලකුණු 236කට දැවී ලංකා කණ්ඩායමට ලකුණු 21ක ජයක් අත්විය. 2023 අගෝස්තු 31 දා පැවැති තරගයේදී බංග්ලාදේශය රැස් කළ ලකුණු 164ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 5ට ලකුණු 165ක් ලබා කඩුලු පහක ජයක් අත්කර ගත්තේය. 2021 මැයි 28 වැනිදා ශ්‍රී ලංකාව කඩුලු හයට රැස් කළ ලකුණු 286ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය ලකුණු 189කට දැවී ලංකා කණ්ඩායමට ලකුණු 97ක ජයක් අත්විය. 2021 මැයි 25 පැවැති තරගයෙන් බංග්ලාදේශය රැස් කළ ලකුණු 246 හඹායාමේදී ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 141ක් පමණක් රැස් කර ලකුණු 105කින් පරාජය විය.

මෙවර තරගාවලියේදී කුසල් මෙන්ඩිස් ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවනුයේ නජිමුල් හොසේන් ෂැන්ටෝය. මොහු විස්සයි 20 තරගාවලියේදී ද බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම අංශය වී ඇත්තේ පිතිකරණ අංශයයි. නායක කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ සහ සහන් ආරච්චිගේ කැපී පෙනෙනි. ප්‍රබලම දඟපන්දු යවන්නන් වනුයේ වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ අකිල ධනංජයයි. ප්‍රමෝද් මධුෂාන්, දිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න වේගපන්දු යවන්නන් ලෙස විශාල ප්‍රගතියක් ලබා සිටී.

සියල්ල අභිබවා ප්‍රගතියක් ලබා ඇති අංශයක් වන්නේ මේ වන විට දක්ෂ අතර සිටින ශ්‍රී ලංකා පන්දු රැකීමය.

බංග්ලාදේශය එක්දින තරගාවලියේ සංචිතයට අලුතින් මුහුණු කිහිපයක්ම ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර

 බංග්ලාදේශ සංචිතය

නජිමුල් හොසේන් ෂැන්ටෝ (නායක), ලිට්න් දාස්, මහ්මදුල්ලා මෙහඩි හසන්, මුස්ෆිකර් රහ්මන්, මුස්ටාෆිසුර් රහ්මන්, රිෂාඩ් හොසේන්, සොරිෆුල් ඉස්ලාම්, සෞම්‍ය සාකර්, ටයිජුල් ඉස්ලාම්, ටන්සිඩ් හසන්, ටන්සිම් හසන් ෂකිබ්

බන්දුල මොල්ලිගොඩ

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee