slc
logo
Home   |    News
අප්‍රේල් 1, 2024
විශ්මි සහ කවීෂා කාන්තා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යති

Sri Lanka Cricket

විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) සිව්වන කඩුල්ලට පන්දු 45කදී නොදැවී රැස් කළ ලකුණු 76 මුල්කර ගනිමින් දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන ජාත්‍යන්තර විස්සයි 20 තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු හතක පහසු ජයක් ලැබීය.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු අටකට ලබා ගත් ලකුණු 137 හඹායාමේදී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 11.2කදී මුළු ලකුණු 62කට කඩුලු තුනක් දැවී සිටියදී සිව්වන කඩුල්ලට එක් වූ ආරම්භක පිතිකාරිණිය විශ්මි ගුණරත්න සහ අංක පහ පිතිකාරිණිය කවීෂා දිල්හාරි පන්දු 45කදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් නොදැවී ලකුණු 76ක් රැස් කර කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියේ තවත් පන්දු හතක් ඉතිරිව තිබියදීය.

රත්ගම දේවපතිරාජ විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි 23 හැවිරිදි කවීෂා දිල්හාරි මේ තරගයේදී පන්දු යැවීමේදී ලකුණු 22කට කඩුල්ලක් දවා පසුව පන්දු 28කදී හතරේ හයක් සමඟ නොදැවී ලකුණු 45ක් ලබා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය ද දිනා ගත්තාය.

ගම්පහ රත්නාවලී බාලිකාවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට ඇතුළු වූ 18 හැවිරිදි විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ ප්‍රධාන භූමිකාව ආරම්භක පිතිකාරිණිය ලෙස පැමිණ ඉටු කළේ පන්දු 57කට මුහුණ දී හතරේ නවයක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 65ක් රැස් කරමිනි.

මේ වන විට කණ්ඩායම් දෙකම තරග 1 – 1 බැගින් ජය ලබා සමව සිටී. තරග 5කින් සමන්විත මේ විස්සයි 20 තරගාවලියේ මීළඟ තරගය අප්‍රේල් 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙද්දී ඕවර දහයක් අවසානයේ කඩුල්ලකට ලකුණු 83ක් ලබා සිටියදී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් අවසාන ඕවර දහය තුළ ඉතිරි පිතිකාරිණියන් හතක්ම ලකුණු 54ක් එක්වද්දී දවාලුවේ දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 137කට සීමා කරමිනි.

දක්ෂතම පන්දු යැවීම සිදු කළ අචිනි කුලසූරිය ලකුණු 26කට කඩුලු දෙකක් දවාලුවාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම මත දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් තිදෙනකුම දුවද්දී දවා ගැනීමට සමත් විණි. දකුණු අප්‍රිකා පිතිකාරිණියන් හත්දෙනකුම දැවී ගියේ ලකුණු දහය ලබා ගැනීමටත් පෙරය.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ නායිකා චමරි අතපත්තු (06) හර්ෂිතා සමරවික්‍රම (12) සහ හසිනි පෙරේරා (01)  දැවීයාමෙන් පසු විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරිගේ කඩිනම් ප්‍රහාරය ඇරැඹිණි.

ලකුණු පුවරුව

 දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 8ට 137 (ඕවර 20)

අනෙකි බොස් 50. මරිසේන් කැප් 44, නෙයිඩින් ඩී ක්ලාක් 16, අචිනි කුලසූරිය 26/2, චමරි අතපත්තු 18/1, කවීෂා දිල්හාරි 22/1

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 3ට 138 (ඕවර 18.5)

විශ්මි ගුණරත්න නොදැවී 65, කවීෂා දිල්හාරි නොදැවී 45, හර්ෂිතා සමරවික්‍රම 12, නෙයිඩින් ඩී ක්ලාක් 27/1

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar