slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2024
ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයත් තරගාවලියත් පහසුවෙන්ම ජය ගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති දෙවැනි පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද බංග්ලාදේශය ලකුණු 192කින් පරදා දැවැන්ත ජයග්‍රහණයක් අද (03) අත්කර ගත්තේ මේ තරගාවලිය ද 2 – 0කින් ජය ගනිමිනි.

සිලෙට්හි පැවැති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිම දෙකේදීම ශතක රැස් කර මෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී ලකුණු 92ක් ලබා බංග්ලාදේශ දෙවන ඉනිමේදී ලකුණු 32කට කඩුලු තුනක් දවාලු ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස්, දෙවන ටෙස්ට් තරගයේත් සහ තරග දෙකක ටෙස්ට් තරගාවලියේත් දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කැරිණි.

දෙවන ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට දෙවැනි ඉනිමේදී ලකුණු 511ක අභියෝගයක් ලබා දුන්නත් තරගයේ අවසාන දිනය වූ අද (03) උදෑසන 11.15 වන විට බංග්ලාදේශයේ සියලු පිතිකරුවන් දැවී ගියේ ලකුණු 318කටය. (ඕවර 85යි)

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම මේ දක්වා සිය මව් රටේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකින් හෝ ටෙස්ට් තරගාවලියකින් ජයග්‍රහණයක් අත්කර ගෙන නොමැති හෙයින් තවත් වරක් එයට උත්සාහ ගැනීමට වසර තුන හතරක් බලා සිටීමට සිදු වනු ඇත. මේ දක්වා මේ කණ්ඩායම් දෙක ටෙස්ට් තරග විසිහයකට සහභාගි වී සිටින අතර ශ්‍රී ලංකාව ඉන් තරග විස්සක් ද බංග්ලාදේශය තරගයක් ද ජයගෙන තරග පහක් ජයපැරැදුමින් තොරව නිම කර සිටී.

බංග්ලාදේශයේදී මෙවර පැවැති තරග දෙකක ටෙස්ට් තරගාවලියේ පන්දුවට පහරදීම, පන්දු යැවීම පන්දු රැකීම යන සියලු අංශයන්ගෙන් බංග්ලාදේශය සෑම අතකින්ම අභිබවා ඉදිරියෙන්ම සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ටෙස්ට් තරගාවලියේ පිතිකරුවන් අතුරින් ප්‍රථම ස්ථානය හිමි වුයේ ලකුණු 367ක් රැස් කළ කමිඳු මෙන්ඩිස්ටය. එලෙස පිතිකරණයේ ඉදිරි ප්‍රථම ස්ථාන සියල්ල හිමි වූයේ ශ්‍රී ලංකා පිතිකරුවනටය. පිතිකරුවන් දෙදෙනකු අතර සබඳතාවයන් අනුව සබඳතා 1 සිට 4 දක්වාම වැඩිම සබඳතා පවත්වා ඇත්තේ ද ලංකා පිතිකරුවනය.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ කසුන් රාජිත ශ්‍රී ලංකා ජයග්‍රහණයන්ට වැඩිම දායකත්වයක් දැක් වූ අතර දඟපන්දු යවන්නන් ලෙස ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් ද කඩුලු කිහිපයක්ම දවාලුහ. කමිඳු මෙන්ඩිස් දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී දවාලු කඩුලු තුන මත ලංකා කණ්ඩායමට තරගය අවසාන දින දිවා ආහාරයට මිනිත්තු 45කට පෙරම නිම කිරීමට ද අවස්ථාව උදා විණි.

මේ ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු තිහක් ලබමින් හයවන ස්ථානයේ සිට සිව්වන ස්ථානය තෙක් පැමිණ සිටී. එලෙසම මේ ටෙස්ට් තරග දෙකේදී ලකුණු 367ක් රැස් කළ කමිඳු මෙන්ඩිස් ටෙස්ට් තරග දෙකකදී වැඩිම ලකුණු ලැබීමේ ලෝක වාර්තාව ද සම කර ඇත.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් මේ තරග දෙකේදී කඩුලු 33ක් දවාලු අතර එය ශ්‍රි ලංකා වේගපන්දු යවන්නන් විසින් තරග දෙකක තරගාවලියක දවාලු වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ද වේ.

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පහසුවෙන්ම ජය ගැනීමට අදාළ වූ තවත් වැදගත් කරුණක් වූයේ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ඉදිරියෙන්ම සිට කණ්ඩායම මෙහෙය වූ ආකාරයත් ටෙස්ට් තරග දෙකේදී පළමු ඉනිම තුනේදී ඔහු දක්ෂ අයුරින් පන්දුවට පහරදුන් ආකාරයත්ය.

තරගයේ අවසාන දිනය වූ අද (03) තරගය ආරම්භ වන විට බංග්ලාදේශය දෙවන ඉනිමේදී කඩුලු හතකට ලකුණු 268ක් ලබා සිටි අතර ඔවුනගේ ඉතිරි පිතිකරුවන් තිදෙනා උදෑසන ඕවර 18ක් තුළ කඩුලු තුනක් දැවී තවත් එක් කළේ ලකුණු 50ක් පමණකි.

උදෑසන දැවී ගියේ කඩුලු තුනෙන් කඩුලු දෙකක්ම ළහිරු කුමාර දවාලු අතර ඉතිරි කඩුල්ල දවාලුවේ කමිඳු මෙන්ඩිස් ය.  දෙවන ඉනිමේ  බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ මෙහෙඩි හසන් නොදැවී ලකුණු 81ක් රැස් කළේ පන්දු 110කදී හතරේ 14ක් සමඟය.

තරගයෙන් පසුව අදහස් දැක් වූ නායක ධනංජය ද සිල්වා ප්‍රථම තරගයේදී අපගේ පිතිකරුවන් අසාර්ථක වන විට තමා ඔවුනගෙන් මීට වඩා සහයක් දෙන ලෙසට ඉල්ලා සිටි බවත් ඔවුන් දෙවන ටෙස්ට් තරගයේදී හොඳින්ම එය ඉටු කිරිම පිළිබඳව සතුටු වන බවත් කීවේය.

කණ්ඩායමේ වේගපන්දු යවන්නන් මේ තරගාවලිය පුරාම තමාට විශිෂ්ට සහයක් දුන් බව පැවසූ ධනංජය ද සිල්වා ඉදිරියේ පැවැත්වෙන දකුණු අප්‍රිකා සහ එංගලන්ත සංචාරවලදීත් ඔවුනගේ සහය අපේක්ෂා කරන බව ද කීවේය.

ලකුණු පුවරුව

 ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සියල්ල දැවී 531 (ඕවර 159යි)

(කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිශාන් මධුෂ්ක 57, ප්‍රභාත් ජයසූරිය 28, ඇන්ජලෝ මැතිව්ස් 23, ෂකිබ් අල් හසන් 110/3, හසන් මහ්මුඩ් 92/2යි)

බංග්ලාදේශය ප්‍රථම ඉනිම සියල්ල දැවී 178 (ඕවර 68.4යි)

(සකීර් හසන් 54, මොමිනුල් හක් 33, ටයිජුල් ඉස්ලාම් 22, මහ්මඩුල් හසන් ජෝයි 21, ෂකිබ් අල් හසන් 15, අසිත ප්‍රනාන්දු 34/4, ළහිරු කුමාර 19/2, විශ්ව ප්‍රනාන්දු 38/2, ප්‍රභාත් ජයසූරිය 63/2යි)

ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 7ට 157 (ඕවර 40)

(ඇන්ජලෝ මැතිව්ස් 56, නිශාන් මධුෂ්ක 34, ප්‍රභාත් ජයසූරිය නොදැවී 28, දිනේෂ් චන්දිමාල් 09, කමිඳු මෙන්ඩිස් 09, හසන් මහ්මුඩ් 65/4, කලිඩ් අහ්මඩ් 34/2

බංග්ලාදේශය දෙවන ඉනිම සියල්ල දැවී 318

මෙහෙඩි හසන් මිරාෂ් නොදැවී 81, මොමිනුල් හක් 50,  ලිට්න් දාස් 38, ෂකිබ් අල් හසන් 36, මහ්මඩුල් හසන් ජෝයි 24, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 20, ළහිරු කුමාර 50/4, කමිඳු මෙන්ඩිස් 32/3, ප්‍රභාත් ජයසූරිය 99/2,

බන්දුල මොල්ලිගොඩ

 

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar