BY CHAMILA KARAWITA
ඉතාමත් තියුණුතම කරට කර සටනකින් අනතුරුව ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26 දා) රාත්‍රියේ පැවැති අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (26 දා) රාත්‍රියේ සමත්වුහ. ඒ අනුව ලබන 28 වැනි ඉරු දින ප.ව. 3.00 ට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ශ්‍රි ලංකාව තරග බිමට පිවිසෙනු ඇත.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව අවසන් මහ තරග වරම දිනා ගත් 6 වැනි අවස්ථාව ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගතව තිබේ. මෙම තරගාවලියේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙවර තරගාවලියේ එකම තරගයක් හෝ පරාජයට පත් නොවී අවසන් මහ තරග වරම දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තාවෝ සමත්ව තිබීමයි. මීට වසර 2 කට පෙර බංග්ලාදේශයේ සිලෙට් නුවරදී පැවැති ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයේදීද ශ්‍රි ලංකා පිල පාකිස්තානු පිලට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට සමත්විය.
මෙම තරගයට පෙර පැවැති පළමු අවසන් තරගයේදී බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් මහ තරග වරම උදා කරගැනීමට සමත්විය. එම තරගයට පසුව පැවැති පාකිස්තානයට එරෙහි තරගයේද ජයග්‍රහණය සදහා ලකුණු 141 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරුණියෝ එක් පන්දුවක් ඉතිරිව තිබියද ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 7 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.
මැද පෙළින් පන්දුවට හර දීමට පැමිණි කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනීගේ පිත්තෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වූයේ ලෝන් ඕන් කළාපයට එල්ල කරන ලද හතරේ පහරත් සමඟිනි. තරගය හමාර වන විට අනුෂ්කාගේ නම ඉදිරියෙන් හයේ පහරක් සහ හතරේ පහරක් සමග පන්දු 22 කදී ලකුණු 24 ක් සටහන්ව තිබිණ.
ඊට පෙර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමඟින් පන්දු 48 කදී ලකුණු 63 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය පදනම එක් කළාය. ලකුණු 19 ට කඩුලු 2 ක් බිඳ වැට තිබියදී කවීෂා දිල්හාරි සමඟ එකතුවුණු චමරි පන්දු 46 කදී ලකුණු 59 ක්ද අනතුරුව අනුෂ්කා සංජීවනී සමග පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 42 ක් එක් කිරිමටද දායකත්වය දැක්වූවාය. මෙම දක්ෂතාව ඇයට තරගයේ වීරයා සම්මානය ගෙන ඒමට තරම් ප්‍රමාණවත් විය.
මෙම හඹා යෑමේදී තරගයේ වාසිය දෙපිළටම දෝලනය වු අතර එහිදී එක් අවස්ථාවකදී පාකිස්තානු පන්දු යවන්නිය වන සාදියා ඉක්බාල් විසින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වුත් ඒ වන විටත් පන්දු සහ ලකුණු අතර පරතරය වූයේ පන්දු 21 කදී ලකුණු 21 ක් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ලකුණු 3 ක් තරම් අවම මට්ටමක පවතිද්දී කඩුලු 2 ක් දැවී යෑම තරමක් හද සසල කරවන සිදුවීමක් වුවත් සංජීවනී සතු ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රයෝජනවත් විය.
පෙර තරග වලට සාපේක්ෂව අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම මෙන්ම පන්දු යැවීම එතරම් සතුටුදායක මට්ටමක නොවීය. පාකිස්තානු පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ගුල් ෆෙරෝස් (25) සහ මුනීබා අලී (37) පන්දු 55 කදී ලකුණු 61 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය.
පන්දු 34 කට මුහුණ දුන් මුනීබා හතරේ පහර 5 ක්ද ෆෙරෝස් හතරේ පහර 3 ක්ද තම ඉනිමට ඇතුළත් කර තිබුණි. එම ආරම්භයත් සමඟ පිටියට පිවිසි නීඩා දර් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක්ද ෆාතිමා සානා පන්දු 17 කදී හතරේ පහර 3 ක් සමඟ ලකුණු 23 ක්ද රැස් කරමින් පාකිස්තානු පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දයකත්වයක් දැක්වූහ.
පාකිස්තානු කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 140 යි
ගුල් ෆෙරෝසා 25, මුනීබා අලී 37, නීඩා දර් 23, ආලියා රියාස් 16*, ෆාතිමා සානා 23*, උදේශිකා ප්‍ර බෝධන 23/2, කවීෂා දිල්හාරි 30/2
ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 19.5 කදී කඩුලු 7 ට ලකුණු 141 යි
චමරි අතපත්තු 63, කවීෂා දිල්හාරි 17, අනුෂ්කා සංජීවනී 24*, සාදියා ඉක්බාල් 16/4