slc
logo
Home   |    News
ජූලි 14, 2024
පිළිකා මර්ධනයට LPL අත හිත 

sinhala editor

අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද? 

 දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉරිදා (14) හඳුන්වා දුන් රෝස දිනය (PINK DAY ) සමාජ සේවා ව්‍යාපෘතිය පිළිකාවන් වැළඳී රෝගාතුර වී සිටින පිපෙන කැකුළු වන් පුංචි දරුවන්, මව්වරුන්ගේ සහ සොහොයුරියන්ගේ මුවට වේදනා මැද බලාපොරොත්තු සහගත සිනහවක් ඇති කරවන්නක් විය.  

මේ ව්‍යාපෘතියට මුල් අඩිය තබන ලද්දේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම විසිනි. කලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙසින් කටයුතු කරන ලද හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහානාම මහතාගේ අනුශාසකත්වය යටතේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන දඹුල්ල සික්සර්ස් මෙම මහඟු කර්තව්‍යයට පළමුව දායකත්වය ලබා දුන් අතර ඔවුන් පසුපස යමින් සෙසු කණ්ඩායම්ද මෙම මහඟු කාර්යය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් සහයෝගය දැක්වීම සැබැවින්ම අගය කළ යුතු කරුණක් වන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් පැවැති සෑම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදීම ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සමාජ මෙහෙවරක් සඳහා ද දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි. ඉකුත් වර මහරගම අපේක්ෂා රෝහලෙහි කටයුතු පවත්වාගෙන යෑම සඳහා සහයෝගය දුන්නා සේම මෙම වසරේ අපේක්ෂාව වී ඇත්තේ සමාජයේ අවශ්‍යතා ඇති පියයුරු පිළිකා කාන්තාවන් පිළිබඳව සමාජය දැනුවත් කර රෝගීනට සහනයක් ලබාදීමට අත්වැළක් ලබාදීමට සූදානම් වී සිටියි.

මේ පිළිබඳව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ද සදහන් කර සිටියේ ගිය වසරේ පරිදිම මෙම වසරේදීද මෙම සමාජ සත්කාරක කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තරගාවලියේදී එල්ල වනු ලබන සෑම හයේ පහරකටම, හතරේ පහරකටම මෙන්ම කඩුල්ලක් දැවී යෑමකට අදාළව මුදල් මෙම අරමුදල සඳහා බැර කිරීමට කටයුතු කරනු ලබන බවයි.

අද දින මෙම සමාජ සත්කාරක වැඩසටහන වර්ණවත් වූයේ දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් අතර තරගය සම්පූර්ණයෙන්ම රෝස පැහැ ගැන්වෙමිනි. මෙහිදී දඹුලු සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් රෝස පැහැති ඇඳුමින් සැරසී පිටියට අවතීර්ණ වද්දී ගෝල් මාවල්ස් කණ්ඩායමද ඔවුනගේ සාම්ප්‍රදායික කොළ පැහැති ඇඳුමට අමතරව රෝස වර්ණය එකතු කරමින් වූ ටීෂර්ටයකින් සැරසී තරගයට අවතීර්ණ වීම කාගෙත් අවධානය දිනා ගනු ලැබූ කටයුත්තක් බවට පත්විය.

ඊට අමතරව රාත්‍රියේ පැවැති ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම රෝස බෝ එකක් පැලඳීමෙන් ද කළම්බු සික්සර්ස් රෝස ඇඳුමෙන් සැරසීගෙන ද මීට සහය දැක්වුහ. කැන්ඩි ෆැල්කන්ස්ට මෙදින (14) තරගයක් නොමැති වුවත් ඔවුන් ඊට සහය දැක්වුයේ රෝස පැහැති ඇඳුමින් සැරසී ඊට එක්වෙමිනි. නරඹන්නන් රැසක් ද රෝස පැහැති ඇඳුමෙන් සැරසී මේ අවස්ථාවට එක්ව සිටියේ රෝගීන් දිරිගැන්වීමේ අපේක්ෂාවෙනි. 

මෙම තරගය ආරම්භයට පෙර පිළිකා රෝගයෙන් පෙළෙන ඉන්දිරා පිළිකා සුව අරේණ් සෙවණ ලබන දරුවන් ක්‍රීඩාංගණයට පිවිසිමේ, මෙම කර්තව්‍යයට පළමුවෙන්ම දායකත්වය දැක්වීමට ඉදිරිපත් වුණු දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටීමටයි. අනතුරුව ඔවුන් සියලු දෙනා ඔවුනටම වෙන්වුණු විශේෂ කුටියක සිට තරගය නැරඹීම, බොහෝ දෙනාගේ අවධානය දිනා ගනු ලැබූ සිදුවීමක් විය. ඊට ප්‍රථම සමූහ ඡායාරූපයට මුහුණ දීමෙන් පසු ඔවුන් වෙත විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පියවර ගනු ලැබීය. කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් එය ඉන්දිරා පිළිකා භාරයේ වෛද්‍යවරිය ලෙසින් කටයුතු කරන වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පිළිගන්වමිනි.

ඉහතින් සඳහන් කළ ආකාරයට “රෝස දින“ ව්‍යාපෘතියට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දායකත්වය ලබාදෙනුයේ හයේ පහරකට රුපියල් දස දහසක් ද හතරේ පහරකට රුපියල් හාරදහසක් ද දවාලන කඩුල්ලකට රුපියල් හයදහසක් ද ලෙසිනි. තරගාවලියේ අවසාන තරගය පැවැත්වෙන ජුලි 21 වැනිදා තරගය නිමාවට පත් වනතෙක්ම මෙය ක්‍රියාත්මකය. බලාපොරොත්තු සහිතව පහර දීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලයන්  එල්.පී.එල්. හි පිළිකා නිවාරණය වෙනුවෙන් ගනු ලබන වෑයමට මහඟු දායකත්වයක් ගෙනෙනු නියතය.

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar