slc
logo
Home   |    News
ජූලි 22, 2024
වාර්තා රැසක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාව පරදවති

sinhala editor

BY CHAMILA KARAWITA

පන්දු 69 ක් තුළ චමරි අතපත්තු රැස් කරන ලද ලකුණු 119 ක විශිෂ්ඨ ශතකයත් සමඟ කාන්තා ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මැලේසියාවට එරෙහිව කුණු 144 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (22 දා) පස්වරුවේදී හැකියාව ලැබිණ. විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම තරග ජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ස්ථාවර අඩිතාලමක් එක් කර ගැනීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදි කඩුලු 4 කට ලකුණු 184 ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් මැලේසියානු පිල පන්දුවාර 19.5 කදී ලකුණු 40 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

මැලේසියානු කාන්තා කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාලීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු වමත් දඟ පන්දු යවන ශෂිනි ගිම්හානි පන්දුවාර 4 කදී ලකුණු 09 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ලීමට සමත්වූවේය. ඇය දවා ගන්නා ලද කඩුලු 3 න් 2 ක්ම පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළතදී දවා ගැනීමට සමත්වූවාය. ඇයට අනගි සහායක් ලබා දුන් කවීෂා දිල්හාරි සහ කාව්‍යා කාවින්දි කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් කෙතරම් හොඳින් පන්දු යැව්වේද කිවහොත් ඔවුන් හමුවේ ලකුණු 10 ඉක්මවා යෑමට සමත්වූයේ එක් පිතිකාරිණියක් පමණක් වීම කැපී පෙනෙයි.

පන්දුවට පහර දීමේදී වේගවත් පිහිහරඹයක නිරත වුණු අතපත්තු තම ඉනිම සදහා හයේ පහර 7 ක් සහ හතරේ පහර 14 ක් එල්ල කිරීමට සමත්වූවාය. තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකය ලෙසින් සටහන් වුණු මෙම ඉනිම ඇයගේ පෞද්ගලික තරග දිවියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

ආරම්භක පිතිකාරිණිය වුණු විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවී ගියද තම ප්‍රහාරාත්මක පිතිහරඹයකට මඳකට හෝ නතර නොකළ චමරි තම අර්ධ ශතකය මුහුණ දුන් 35 වැනි පන්දුවේදී සම්පූර්ණ කර ගත්තේ වින්ෆ්‍රෙඩ් දුරෙයිසිංහම්ට පිට පිටම එල්ල කරන ලද හයේ පහර 2 ද සමඟිනි. ඒ අතරතුර හර්ෂිතා සමරවික්‍රම සමග එක්වුණු චමරි දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 64 ක් ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් අනුෂ්කා සංජීවනී සමග පන්දු 62 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වූවාය. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වුණු ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින්ද සනිටුහන් විය. මීට පෙර මෙහි වාර්තාව වූයේ චමරි අතපත්තු සහ නලක්ෂිකා ද සිල්වා එක්ව රැස් කර තිබූ ලකුණු 77 විය.

පන්දු 24 කට මුහුණ දුන් කඩුලු රකින්නියද ලෙසින් කටයුතු කරන අනුෂ්කා හතරේ පහර 4 ක් ද සමගින් පන්දු 23 කදී ලකුණු 31 ක් ලබා ගත්තාය. 11 වැනි පන්දුවාරය අවසන් වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 85 ක් ලෙසින් සටහන්ව තිබූ නමුත් අවසන් පන්දුවාර 9 දී වේගය වැඩි කළ චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකාරිණියෝ ලකුණු 99 ක් රැස් කරගත්හ. එම ලකුණු 99 න් 68 ක්ම චමරිගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය. චමරිගේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි වූයේ අවසන් පන්දුවාර 3 දීය 17 වැනි පන්දුවාරය වන විටත් චමරි රැස් කරගෙන සිටියේපන්දු 57 කදී ලකුණු 76 ක් පමණක් වුවත් අවසන්  පන්දුවාර 3 දී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් එල්ල කරමින් ඇය ශතකය කරා ඇදී ගියාය. අයිස්යා එලීසාට එරෙහිව රැස් එල්ල කරන ලද පිට පිට හයේ පහර දෙකත් සමග චමරි ශතකය සම්පූර්ණ කර ගනු ලැබුවේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියකදී පිතිකාරිණියක් වාර්තා කරන ලද පළමු ශතකයටද හිමිකම් කියමිනි.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වදිනු ලබන තෙවැනි තරගය ජූලි මස 24 වැනිදා තායිලන්ත කාන්තා කණඩායමට එරෙහිව ප.ව. 7.00 ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 184 යි

චමරි අතපත්තු 119, හර්ෂිතා සමරවික්‍රම 26 අනුෂ්කා සංජීවනී 31,, වින්ෆ්‍රෙඩ් දුරෙයිසිංහම් 34/2

මැලේසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 40 යි

එල්සා ජූලියා 10, ශෂිනි ගිම්හානි 09/3, කාව්‍යා කාවින්දි 07/2, කවීෂා දිල්හාරි 04/2

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee