slc
logo
Home   |    News
ජූලි 2, 2024
ශදාබ්ගේ කඩුලු ත්‍රිත්වයත් දුනිත්ගේ කඩුලු 4 ත් නිසා කලම්බු පිලට ජයග්‍රාහී ප්‍රවේශයක්

sinhala editor

 

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා වශයෙන් ඉතිහාස ගත වූ පා දඟ පන්දු යවන ෂාදාබ් ඛානුත් සහ දුනිත් වෙල්ලාලගේ එක්ව එල්.පී.එල්. ශූරයින් ලෙසින් කිරුළු පළන් සිටින කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වීම නිසා LPL – 5 අදියරය යටතේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල තරග වැදි පළමු තරගයෙන්ම ලකුණු 51 ක ජයක් වාර්තා කොට තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (02 දා) එක් කර ගත්තේය.

මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ඉලක්කය ලෙසින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලබා දුන් ලකුණු 199 ක ඉලක්කය හඹා යෑමේදී වෙල්ලාලගේ සහ ශදාබ් එක්ව කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ අවසන් කඩුලු 6 ම පන්දු 13 ක් ඇතුළත දවා ගනිමින් තම කණ්ඩායමට විශ්මය ජනක නිමාවක් ලබා දීමට සමත්වූහ.

ඉලක්කය දැවැන්ත වුවත්, කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව වේගවත් ආරම්භයක් ලබා දුන් අතර මැද පෙළින් පැමිණි වනිදු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 31 කදී ලකුණු 60 ක් එක් කිරීම නිසා තරගය ජය වාර්තා කිරීමේ ඉඩකඩක් ඔවුන්ට නිර්මාණය විය. චන්දිමාල් පන්දුවට පහර දෙන අවස්ථාවේදී චාමික කරුණාරත්න විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාරයකදී පළමු පන්දු 5 ටම හතරේ පහර 5 ක් එල්ල කිරීම අද තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

ෆැල්කන්ස් ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 42 දී ලබාගත යුතු ඉලක්කය වූයේ ලකුණු 62 කි. ඒ අවස්ථාව වන විටත් කඩුලු 6 ක් ඔවුන් සතුව තිබිණ.  විස්සයි-20 තරගයකදී බැලූ බැල්මට එම ඉලක්කය අසීරු එකක් නොවුණත් 15 වැනි පන්දුවාරය යැවීමට පන්දුව අතට ගත් ශදාබ් ඛාන් ඒ සියල්ල වෙනස් කර දැමීය.

මුහම්මද් වසීම්ගේ සහායද සමඟින් පළමුව නායක වනිඳු හසරංගගේ කඩුල්ල දවා ගත් ශදාබ් ඊළඟ පන්දු දෙකේදී ආ සල්මන් සහ පවන් රත්නායකගේ කඩුලු දවා ගනිමින් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේය. එම කඩුලු ත්‍රිත්වයත් සමඟ ශදාබ්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 4 ක් ‍දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 3වශයෙනි. අවසන් කඩුලු 2 ම දවා ගත් දුනිත් වෙල්ලාලගේ තම පන්දු යැවීම හමාර කළේ පන්දුවාර 3.5 කදී ලකුණු 20 කට කඩුලු 4 ක් ලෙසිනි.

අවසන් පන්දුවාර 5 දී ලබා ගත් ලකුණු 61 ත් සමග කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් වන විටදී කඩුලු 7 කට ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්විය. ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්තද මුල් කඩුලු 2 ලකුණු 20 ක් ඇතුළත දැවී යෑම නිසා කලම්බු ඉනිම යම් පසුබෑමක් පෙන්නුම් කළේය. එහෙත් සධීර සමරවික්‍රම සහ මුහම්මද් වසීම් එක්ව පන්දු 27 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් රැස් කිරීම ප්‍රධාන කොට 10 වැනි පන්දුවාරයට පෙරම ලකුණු 100 සීමාව ඉක්මවාලීමට කලම්බු කණ්ඩායමට හැකියාව ලැබිණ.

කෙසේ වෙතත් කැන්ඩි නායක වනිදු හසරංග විසින් පන්දු 3 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 2 ත් ඇතුළුව කඩුලු 3 ක් ලකුණු 13 ක් ඇතුළත දවා ගැනීමට සමත්වීමත් සමග කැන්ඩි කණ්ඩායම යළිත් තරගයට අවතීර්ණ වූවේය.

එතැන් පටන් ග්‍රහණය තද කළ කැන්ඩි පන්දු යවන්නෝ 11 වැනි පන්දුවාරයේ සිට 15 වැනි පන්දුවාරය දක්වා ඔවුනට රැස් කිරීමට අවස්ථාව ලබා දුන්නේ ලකුණු 35 ක් පමණි. එහෙත් මෙම තරගාවලියේදී අලුතින්ම හඳුන්වා දී තිබෙන පවර් බ්ලාස්ට් අවස්ථාවට හිමි පන්දුවාර දෙකේදී යළිත් තරගය තමන් වෙතට ඇද ගැනීමට කලම්බු පිතිකරුවෝ දක්ෂ වූහ. එම පන්දු 12 දී පන්දුවට පහර දුන් නායක තිසර පෙරේරා සහ චාමික කරුණාරත්න ලකුණු 33 ක් කැන්ඩි පන්දු යවන්නන්ගෙන් උදුරා ගත්තේ ලකුණු 200 සීමාවට තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඔසබා තබමිනි.

වේගවත් ඉනිමක් දියත් කළ චාමික කරුණාරත්න හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 10 කදී ලකුණු 25 ක් ලබාගත්තේ තම කඩුල්ල නොබිඳිව තබා ගනිමිනි. තිසර පෙරේරා පන්දු 30 ක් ඇතුළත හතරේ පහර 5 ක් සමගින් ලකුණු 38 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී වැඩිම ප්‍රහාරයකට ලක්වූයේ කසුන් රජිත වන අතර ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 3 දී ලකුණු 56 ක් ප්‍රතිවාදී පිතිකරුවෝ ලබාගැනීමට සමත්වූහ. කෙසේ වෙත්ත නිමේ වැඩිම දවාගත් පන්දු යවන්නන් (කඩුලු 2 ක්) වනිඳු සමඟ සමතැන් ගැනීමට රජිතට හැකියාව ලැබිණ.

කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 20 කදී කඩුල 7 ට ලකුණු 198 යි –

සදීර සමරවික්‍රම 48, තිසර පෙරේරා 38, චාමික කරුණාරත්න 25*, ශාදාබ් ඛාන් 20, මුහම්මද් වසීම් 32, රාමනුල්ලා ගුර්බාස් 17, කසුන් රජිත 56/2, වනිඳු හසරංග 30/2, දසුන් ශානක 25/1, දුෂ්මන්ත චමීර 46/1, අඝා සල්මන් 10/1)

කැන්ඩි ෆැල්කන්ස් පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 147 යි

දිනේෂ් චන්දිමාල් 38, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් 24, වනිඳු හසරංග 25, ඇන්ජලෝ මැතිව්ස් 25, දුනිත් වෙල්ලාලගේ 20/4, ශදාබ් ඛාන් 22/4, බිනුර ප්‍රනාන්දු 26/1, ග්ලෙන් පිලිප්ස් 28/1)

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee