slc
logo
Home   |    News
ජූලි 28, 2024
වාර්තාගත හඹා යෑමකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන දිනා ගනිති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය ඔල්වරසන් දීමේ අරමුණින් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පිවිසි විසි පන්දහසකට ආසන්න ප්‍රේක්ෂක පිරිසගේ බලාපොරොත්තු සඵල කරවමින් ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අද (28 දා) රාත්‍රියේදී සමත්වූහ. මින් පෙර පස්වතාවක් ආසියානු කුසලාන අනුශූරියන් බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ අද පරාජයට පත්වූයේ හත් වතාවක් ආසියානු ශූරියන් බවට පත්වීමට සමත්ව සිටි ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම විය. මෙම ජයග්‍රහණයත් සමඟ ආසියානු කුසලාන ඉතිහාසයේදී ශූරතාවක් දිනා ගැනීමට සමත් වුණු තෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්විය. මීට පෙර ඉන්දියාව සහ බංග්ලාදේශය ආසියානු ශූරතා දිනාගෙන සිටින රටවල් බවට පත්ව සිටියහ.

ඉන්දියාවට එරෙහිව කඩුලු 8 ක ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වුණු තරගයේදී ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රමගේ සටන්කාමී අර්ධ ශතක මෙන්ම කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව්වේ දක්ෂතා කැපී පෙනිණ. ආසියානු කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව එකම තරගයක් හෝ පරාජයට පත් නොවී මෙම සුවිශේෂී කුසලාන දිනා ගැනීමද කැපී පෙනිණ. ශ්‍රී ලංකාව අද ජයග්‍රහණය කරන ලද්දේ අවසන් වතාවට තරග වැදි තරග 17 න් 14 වැනි ජයග්‍රහණය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නියන් හමුවේ ලබා දෙමිනි. ශ්‍රී ලංකා ජයග්‍රහණය සදහා ලකුණු 05 ක් අවශ්‍යව තිබියදී පූජා වස්ත්‍රකාර් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ කවීසා දල්හාරි, ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ ජයග්‍රහණය සනිටුහන් කළාය.

මෙය විස්සයි-20 කාන්තා අවසන් මහ තරගයක කණ්ඩායමක් හඹා ගොස් ජය වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය. මීට පෙර එම ඉහළම හඹා යෑම බවට පත්ව තිබුණේ ඔස්ට්‍රේලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල 2016 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හඹා ගොස් ජය වාර්තා කරන ලද ලකුණු 149 විය. එමෙන්ම එය විස්සයි-20 තරගයකදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කණ්ඩායමක් හඹා ගොස් ජය වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී පිතිහරඹයක නිරත වුණු හර්ෂිතා සමරවික්‍රම හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 51 කදී ලකුණු 69 ක් රැස් කළේ තරම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. එම දක්ෂතාවය ඇයට අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය ගෙන ආවාය. තරග 5 කදී ලකුණු 304 ක් රැස් කරමින් සහ පන්දු යැවීමෙන් කඩුලු 3 ක් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයට පාත්‍ර වූවාය.

අනවශ්‍ය කඩුලු අතර දිව යෑම නිසා විශ්මි ගුණරත්න ලකුණු 07 ක්ව තිබියදී පිටියෙන් ඉවත්ව ගියාය. තම සහායිකාවගේ දැවී යෑම නිසා එතරම් කලබල නොවුණු ලකුණු ලබා ගැනීමට වඩා උනන්දු වූයේ කඩුල්ලේ පන්දුව හැසිරෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනිමටය. සියල්ල වෙනස් වන්නට වූයේ තනූජා කන්වර් යවන ලද පස්වැනි පන්දුවාරයේදීය. එම පන්දුවාරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 16 ක් උදුරා ගත් චමරි පවර් ප්ලේ පන්දුවාර 6 දී වන බලාපොරොත්තු වූ ඉක්කය වන ලකුණු 40 සීමාව (44/1) ඉක්මවා යෑමට සැලැස්වූවාය.

හර්ෂිතා සමරවික්‍රම සමග එක් වුණු චමරි දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදි ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩ නැගුවාය. පා ඉන්නට පිටතින් පතිත වුණු දීප්ති ෂර්මාගේ පන්දුවෙන් චමරිගේ කඩුල්ල බිඳී යෑම නිසා අකමැත්තෙන් හෝ චමරිට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. සිය නායිකාව පිටියෙන් ඉවත් වුවද තම සටන අත් නොහළ හර්ෂිතා ඉන් පසු පිටියට පිවිසි කවීෂා දිල්හාරි සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී වේගවත් ලකුණු 73 ක සම්බන්ධාතවක් ගොඩ නඟමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

චමරි අතපත්තු තම ඉනිම සඳහා හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් එල්ල කරමින් පන්දු 43 කදී ලකුණු 61 ක් රැස් කිරීමට සමත්වූවාය. හර්ෂිතා සමඟින් පන්දුවට පහර දුන් කවීෂා දිල්හාරි පන්දු 16 කදී ලකුණු 30 ක් ලබා සිටියාය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20අවසනදී කඩුලු 6 ට ලකුණු 165 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ දුර්වල පන්දු රැකීමෙන් ලද වාසියත් සමඟිනි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වුණු ස්මිත්‍රි මන්දනාගේ උඩ පන්දුව ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් ඇය පන්දු 47 කදී ලකුණු 60 ක් ලබා ගත්තාය. කවීෂා දිල්හාරිගේ පන්දුවක් හමුවේ හර්ෂිතා සමරවික්‍රම අතට ලබා දුන් උඩ පන්දුව ඇය රැක ගැනීමට සමත්වූයේ නම් මන්දනාගේ ඉනිම ලකුණු 10 දී නිමාවනු ඇත.

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි පමණක් කඩුලු 2ක් දවා ගත්තාය. මන්දනාගේ ඉනිම හැරුණු කොට මැද පෙළින් පැමිණි ජෙමමා රොඩ්‍රිගස් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 29 ක්ද රිෂා ගෝෂ් පන්දු 14 කදී ලකුණු 30 ක්ද රැස් කිරීමට සමත්වූහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපති සහ තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍යාධි (මූල්‍ය සහ පරිපාලන) තුසිත් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee