ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ළු තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කලම්බු නෝත්, කැන්ඩි, කලම්බු සවුත් සහ ගෝල් කණ්ඩායම් සමත්ව සිටිති. මෙම අවසන් පූර්ව තරග වන කලම්බු නෝර්ත් සහ කැන්ඩි අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදීද කලම්බු සවුත් සහ ගෝල් අතර තරගය අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී ප.ව. 9.30 සිට පැවැත්වෙනු ඇත.
මූලික වටයේ තරග අද (27) අවසන් වු අතර තරගාවලියට සහභාගි වු කණ්ඩායම් පහෙන් ඉවත් වුයේ දඹුල්ල කණ්ඩායමයි.
අද (27) පැවැති මූලික වටයේ අවසාන තරග දෙකේ දී සමාධි ක්‍රීඩාංගණයේ දී කළම්බු සවුත් කඩුලු හතකින් ගෝල් පරාජය කළ අතර සාලියපුර දී කළම්බු නෝර්ත් ලකුණු 31කින් දඹුල්ල පරාජයට පත් කළේය.
මෙම තරග දෙකෙහි විශේෂ සිදුවීමක් වුයේ කළම්බු සවුත් කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයකු ලෙස සිට අලුතින් එක් වු අංක හත පිතිකරු රුසිත් ජයවර්ධන නොදැවී ලකුණු 68ක් රැස් කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා වී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට මුල් වීමය. ඔහු කණ්ඩායමට එක් වුයේ ආබාධයට ලක්ව සිටි ඇසදිසි ද සිල්වා වෙනුවටය.
රුසිත් ජයවර්ධන පාණදුර ශ්‍රී සුමංගල විදුහලේ සිසුවෙකි. රුසිත් මේ තරගයේ දී හත්වන කඩුල්ලට ජොසුවා සෙබස්ටියන් (ලකුණු 24යි) සමඟ ලකුණු 66ක් ද අටවන කඩුල්ලට රන්දීෂ බණ්ඩාරනායක (නොදැවී 14) සමඟ නොදැවී ලකුණු 44ක සබඳතාවයක් ද තබා ගනිමිනි.
කළම්බු නෝර්ත් – දඹුල්ල අතර තරගය අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා විණි. පන්දු යැවීමේ දී දස්කම් පෑ කළම්බු නෝර්ත් නායක ආනන්ද විදුහලේ කිත්ම විදානපතිරණ ලකුණු 21කට කඩුලු හතරක් ද දඹුල්ල වෙනුවෙන් යාපනයේ හාට්ලි විදුහලේ විග්නේෂ්වරන් ආකාෂ් ලකුණු 23කට කඩුලු හතරක් ද දවාලමින් ප්‍රතිවාදී කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලීමට මුල් විණි.
කළම්බු නෝර්ත් රැස් කළ ලකුණු 182 හඹායාමේ දී දඹුල්ල එම ලකුණු ප්‍රමාණයට ළඟා වෙතැයි අපේක්ෂා කළත් කිත්ම විදානපතිරණ (21/4) සමඟ මෙවන් දිසානායක (28/3) පන්දු යැවීමේ දී පෙන් වු දක්ෂතා මත දඹුල්ල සියලු පිතිකරුවන් දැවී ගියේ ලකුණු 151කටය.
දඹුල්ල වැඩිම ලකුණු ලාභීන් වු අංක 4 පිතිකරු නායක චන්දූප අබේසිංහ (කුරුණෑගල මලියදේව) ඉනිමේ වැඩිම ලකුණු 32ක් (පන්දු 51යි හතරේ දෙකයි) අංක අට පිතිකරු සිතාසර් සුබර්මන් ලකුණු 24ක් ද (හාට්ලි යාපනය – පන්දු 37යි හතරේ තුනයි) අංක හත පිතිකරු සනුජ නිඳුවර ලකුණු 22ක් ද (පන්දු 19යි හතරේ පහරයි හයේ පහරයි) ආරම්භක පිතිකරු රජිත නවෝද්‍ය ලකුණු 21ක් ද (පන්දු 32යි හතරේ තුනයි) රැස් කළහ.
හොඳම සබඳතාවය වුයේ හය වන කඩුල්ලට චන්දූප අබේසිංහ සහ සනුජ නිඳුවර රැස් කළ ලකුණු 40ක සබඳතාවය වේ.
සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු නෝර්ත් – දඹුල්ල තරගයේ කාසියේ වාසිය දිනු කළම්බු නෝර්ත් පන්දුවාර 43.4කදී සියලු පිතිකරුවන් දැවී ලකුණු 182ක් රැස් කළේ පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු 4.17ක් වන පරිද්දෙනි.
කළම්බු නෝර්ත් කණ්ඩායමේ ඉනිම බොහෝ දුරට රඳා පැවැතුණේ ආරම්භක පිතිකරු සෙනුජ වැකුණගොඩ සහ අංක තුන පිතිකරු දෙනුර දම්සිත් දෙවන කඩුල්ලට දැක් වු දක්ෂතා මතය. මොවුන් දෙදෙනා දෙවන කඩුල්ලට පන්දුවාර 20ක් තුළ එක් කළ ලකුණු සංඛ්‍යාව 102කි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු සෙනුජ වැකුණගොඩ ලකුණු 59ක් රැස් කළේ පන්දු 58කට මුහුණ දී හතරේ හතක් සහ හයේ පහරක් සමඟය. දෙනුර දම්සිත් මෙහිදී අඩු වේගයකින් ලකුණු 41ක් ලබා ගත්තේ පන්දු 71කට මුහුණ දී හතරේ හතරක් ද එල්ල කර ගනිමිනි.
කළම්බු නෝර්ත් කණ්ඩායමේ ලකුණු අතරට පැමිණි අනෙක් පිතිකරුවන් දෙදෙනා වුයේ අංක පහ පිතිකරු රාඩ් කරීම් ලකුණු 26ක් ද (පන්දු 66යි හතරේ පහරයි) සහ මෙවත් දිසානායක ලකුණු 20ක් ද (පන්දු 34යි හතරේ දෙකයි).
රාඩ් කරීම් සහ මෙවන් දිසානායක අටවන කඩුල්ලට රැස් කළ ලකුණු සංඛ්‍යාව 36කි.
කැපී පෙනුණු පන්දු යැවීමක නිරත වු දඹුල්ල කණ්ඩායමේ විග්නේෂ්වරන් ආකාෂ් (යාපනයේ හාට්ලි විදුහලේ ශිෂ්‍ය) කඩුලු 4ක් දවාලුවේ ලකුණු 23ක් පමණක් සපයමිනි.
ලකුණු පුවරුව
- කළම්බු නෝර්ත් ලකුණු 31කින් දඹුල්ල පරාජය කරයි.
කළම්බු නෝර්ත් පන්දුවාර 43.4කදී සියල්ල දැවී 182යි – (සෙනුජ වැකුණගොඩ 59, දෙනුර දම්සිත් 41, රාඩ් කරීම් 26, මෙවන් දිසානායක 20, විග්නේෂ්වරන් ආකාෂ් 23/4, ඩමේෂ් මතීෂ 11/2යි)
දඹුල්ල සියල්ල දැවී 151 (පන්දුවාර 37.1යි) – (චන්දූප අබේසිංහ 32, සිතාසන් සුබර්මන් 24, සනුජ නිඳුවර 21, රජිත් නවෝද්‍ය 21, කිත්ම විදානපතිරණ 21/4, මෙවන් දිසානායක 28/3)
- කළම්බු සවුත් කඩුලු තුනකින් ගෝල් පරාජය කරයි.
ගෝල් පන්දුවාර 41.3කදී සියල්ල දැවී 233 – (විරාන් චමුදිත 47, රන්දුල මාබරණ 35, දුල්සිත් නිමවිරු 31, රෂේන් දිල්හාර 27, ඉමෙත් මනම්පේරි 19, ගිම්හාන රසාංජන 17, හිරුෂ ප්‍රනාන්දු 37/2, රමිරු පෙරේරා 29/2)
කළම්බු සවුත් පන්දුවාර 48.2කදී කඩුලු 7ට 237යි – (රුසිත් ජයවර්ධන නොදැවී 68, රෙහාන් පීරිස් 53, ඔෂාන් ද සිල්වා 30, ජොසුවා සෙබස්තියන් 24, රන්දීෂ බණ්ඩාරනායක 14, විමත් දින්සර 13, සුහස් ප්‍රනාන්දු 12, ජිතර සන්සිත් 32/2, ගිම්හාන් රසාංජන 47/2යි)