ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 21 ක් ලබා සිටියේය. අද දිනය නිමා වීමට පෙර තරගය පැවැත්වීම සඳහා තවත් මිනිත්තු 30 ක පමණ කාලයක් ඉතිරිව තිබෙන නමුත්, විනිසුරුවන් ඒ පිළිබඳව අවධියෙන් පසුවෙති.
වළාකුළින් බරව තිබූ අහස් කුස යට කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා වේග පන්දු යවන්නන්ගේ සහයෝගය ඇතිව කඩුලු දවා ගැනීමේ අදිටනින් කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරකයින්ට ලබා දුන්නේය. එහෙත් සිදුවීමට ඇති අනතුරු පිළිබඳව කල්වේලා ඇතිවම සැලසුම් සහගතව අවතීර්ණ වුණු එංගලන්ත පිතිකරුවෝ පළමු දිනට ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 44.1 කදී පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය 5.00 ක වේගයක් රඳවා තබා ගනිමින් ලකුණු රැස් කිරීමට සමත්වූවේය.
එංගලන්තය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔලී පෝප් හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමගින් පන්දු 103 කදී ලකුණු 103 ක් ලබා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටියි. මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය නිමා කරන විට අනෙක් අන්තයේ රැඳී සිටි හැරී බෘෘක් ලකුණු 08 ක් ලබා සිටියේය.
අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් කවර් කළාපය හරහා හතරේ සීමාවට යැවීමට සලස්වමින් එංගලන්ත නායකයා සිය 7 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගත්තේය. මන්දාලෝක තත්ත්වය මත මේ තරගය නිමා කරන ලද පළමු අවස්ථාව නොවීය. මීට පෙරද එංගලන්ත පිල කඩුල්ලක් දැවී ලකුණු 76 ක් ලබා සිටියදීද තරගය නතර කර දැමීමට විනිසුරු කටයුතු කළහ. ඒ වන විටත් ආරම්භක පිතිකරු බෙන් ඩකට් නොදැවී ලකුණු 51 ක් සහ ඔලී පෝප් නොදවී ලකුණු 14 ක් ලබා සිටියේය. කෙසේ වෙතත් ඉනිමේ දෙවැනි පිතිකරුවා ලෙසින් ඩකට් දැවී යන විට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් පන්දු 79 කදී වේගවත් ලකුණු 86 ක් ලබා දීමට ඔහු සමත්ව සිටියේය.
ශ්‍රී ලංකාවට වඩාත් අත්‍යාවශ්‍යම කඩුල්ලක් වන ජෝ රූට්ව දවා ගැනීමට ළහිරු කුමාර සමත්වූයේ විශ්ව ප්‍රනාන්දුගේ සහායද ඇතිවය. දිනයේ තෙවැනි කඩුල්ල ලෙස රූට් දැව යන විට ලකුණු 13 ක් ලබා සිටියේය.
එවට නවත්වන ලද තරගයට යළිත් කොයි මොහොතේදී පැහැදිළි අහස එනු ඇති බවට අපේක්ෂා කරමින් සිටියද දහවල් 12.40 වන විටත් වෙනසක් නොවුයෙන් දිවා ආහාරය ලබා ගැනීමට විනිසුරුවෝ නොපැකිළිනහ. කෙසේ වෙතත් තරගය යළි ආරම්භ කෙරුණේද විදුලි ආලෝක පද්ධතියේ සහායෝගයද ලබා ගනිමින් වීිම කැපී පෙනිණ.
එංගලන්ත කණ්ඩයම මෙම තරගයට පෙර පැවැති පළමු තරග 2 ට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැති තරගාවලියද 3-0 ක් ලෙස ජය ගෙන සිටින බැවින් අද තරගයද ජය ගනිමින් ජයග්‍රහණය සංඛ්‍යාව 6 ක් දවා ඉහළ දමා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන්නේය.
අද තරගයේදී එංගලන්ත පිල වෙනුවෙන් වමත් වේග පන්දු යවන ජොෂ් හල් ටෙස්ට් වරම් දිනාගත්තේය ඔහුට හිමි ටෙස්ට් හිස්වැස්ම පිරිනමන ලද්දේ හිටපු ටෙස්ට් නායක වර්තමාන එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ය.
ශ්‍රී ලංකාවද අද තරගයේදී වේග පන්දු යවන්නන් මත විශ්වාසය තබමින් අවතීර්ණව සිටියි. කණ්ඩායම සතු ප්‍රබලම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය විවේක ගන්වමින් විශ්ව ප්‍රනාන්දුව තරගයට කැඳවා ඇත්තේ එබැවිනි.
එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44.1 කදී කඩුලු 3 ට ලකුණු 221 යි
බෙන් ඩක් 86, ඩෑන් ලෝරන්ස් 05, ඔලී පෝප් 103*, ජෝ රූට් 13, හැරී බෘෘක් 08*, ළහිරු කුමාර 81/2, මිලාන් රත්නායක 34/1