බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන් පසු විස්සයි-20 තරග වරම දිනා ගන්නේ වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. එය සංකේතවත් වන කැප් තොප්පිය නායක චරිත් අසලංක විසින් වෙල්ලාලගේට ලබා දුන්නේය.
කාසියේ වාසිය තමන් සතු කරගත් චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලිය 1-0 ක් ලෙස පසුපසින් සිට අද තරගයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ලබන්නේ පළමු තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ වෙනුවටය. පළමු තරගයට ක්‍රීඩා කරන ලද චමිඳු පන්දුවාර 2 ක් පමණක් යවන ලද අතර එහිදී ලකුණු 27 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ. පන්දුවට පහර දීමේදී පන්දු 3 කට මුහුණ දුන් චමිඳු ලකුණු 4 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.
ඊට අමතරව පළමු තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වෙනුවට අද තරගයේදී දකුණත් වේග පන්දු යවන නුවන් තුෂාරව කැඳවා තිබේ. පළමු තරගයේදී පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කළ අසිතට එරෙහිව ලකුණු 37 ක් ලබා ගත්තද ඔහුට එක් කඩුල්ලක් හෝ දවා ගත නොහැකි විය.
මේ අතර කොදෙව් කණ්ඩායමද අද තරගයේදී පළමු තරගයට ක්‍රීඩා කරන ලද ෂායි හෝප් වෙනුවට ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් සමඟින් අවතීර්ණව සිටිති.
ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. කුසල් පෙරේරා, 4. කමිඳු මෙන්ඩිස්, 5. චරිත් අසලංක (නායක), 6. භානුක රාජපක්ෂ, 7. වනිඳු හසරංග, 8. දුනිත් වෙල්ලාලගේ, 9. මහීෂ් තීක්ෂණ, 10. මතීෂ පතිරණ, 11. නුවන් තුෂාර.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – 1. එවින් ලුවිස්, 2. බ්‍රෙන්ඩන් කිංග්, 3. ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, 4. රොස්ටන් චේස්, 5. ශෙර්ෆන් රදර්ෆර්ඩ්, 6. රොව්මන් පවෙල් (නායක), 7. රොමාරියෝ ෂෙපර්ඩ්, 8. ශමාර් ස්ප්‍රිංගර්, 9. අල්සාරි ජෝෂප්, 10. ගුඩාකේෂ් මොටී, 11. ශමාර් ජෝෂප්.