CHAMILA KARAWITA REPORTING FROM PALLEKELE
ෂර්ෆාන් රදර්ෆර්ඩ් සහ ගුඩකේෂ් මෝති එක්ව නව වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩ නැංවුවද, අල්සාරි ජෝසප් සහ මෝටි එක්ව පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණ 25 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගනිමින් පීඩනය වැඩි කිරීමට සමත් වුවද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය නවතාලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නොහැකි විය. බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 36 කදී ලබා දුන් ලකුණු 190 ක ඉලක්කය ශ්‍රී ලංකා පිතිකරුවන්ට සපුරා ගැනීම සඳහා වැය වූයේ පන්දුවාර 38.2 ක් පමණි. ඒ අතරතුර ප්‍රතිවාදීන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියේද පස් දෙනෙකු පමණි.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට කරුණු දෙකක් හේතුවෙන් වැදගත් වේ. දෙරට අතර එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම ඉන් එක් කරුණක් වන අතර, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය අතරින් කොදෙව්වන් අභිබවා ජයග්‍රහණ සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම දෙවැනි කරුණ වන්නේය.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එක්දින තරග අංශය යටතේ අවස්ථා 66 කදී මුණ ගැසී තිබෙන අතර අද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සංඛ්‍යාව 32 දක්වා ඉහළ දමමින් එහි පෙරමුණට පැමිණියේය. කොදෙව් කණ්ඩායම මෙතෙක් ලබා ඇත්තේ ජයග්‍රහණ 31 ක් වන අතර තරග 3 ක් විසඳුමකින් තොරව අවසන්ව තිබේ. එමෙන්ම අද ලද තරගාවලි ජය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේදී සිය මව්බිම තුළදී පිට පිටම වාර්තා කරන ලද පස්වැනි ද්වී පාර්ශ්වික එක්දින තරගාවලි ජය ලෙසින් සනිටුහන් විය.
වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 44 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත විය. එම ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට මෝති සහ ජෝසප් දෙදෙනා සමත් වූ නමුත්, තෙවැනි කඩුල්ලට එක් වුණු සදීර සමරවික්‍රම සහ නිශාන් මදුෂ්ක ලකුණු 38 බැගින් රැස් කරමින් එක් කරන ලද ලකුණු 62 ක සම්බන්ධතාව නිසා කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී ලංකාවට ඉලක්කය කරා යෑමට අවස්ථාව හිමිවිය.
මොවුන් දෙදෙනාට අමතරව නායකත්වයේ ඉනිමක් දියත් කළ චරිත් අසලංක පිට පිටම දෙවැනි අර්ධ ශතකය රැස් කර ගත්තේ ලකුණු 61 ක වටිනා ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ඒ පන්දු 61ක් වැය වුණු චරිත්ගේ ඉනිමට හතරේ පහර 7 කින් සහ හයේ පහරකින්ද වර්ණවත් කර ගනිමිනි.
ලකුණ 58 ක් ඇතුළත ඉදිරි පෙළ කඩුලු 8 ම දැවී ගොස් තිබියදී 9 වැනි කඩුල්ලට එක් වූ ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ගුඩාකේෂ් මෝති ලකුණු 119 ක වාර්තා ගත සම්බන්ධතාවත් පවත්වමින් කොදෙව් ලකුණු පුවරුව ගෞරවාන්විත ස්ථානයක් කරා රැගෙන ගියහ. පන්දු 115 කදී වාර්තා වුණු මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව වසර 50 කට ආසන්න එක්දින තරග ඉතිහාසයේ එම කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සිව්වැනි හොඳම සම්බන්ධතාව ලෙසින්ද සටහන් විය. එම සම්බන්ධතාව හේතුකොට ගෙන පන්දුවාර 36 ක් අවසනදී කොදෙව් ලකුණු පුවරුව ලකුණු 189 ක් ලෙසින් සටහන් විණ.
මෙම කඩුල්ලේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකික පිතිකරණ යුගලයක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග දෙදෙනා වේ. ඔවුහු 2010 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රැස් කරන ලද ලකුණු 132 එම කඩුල්ලේ ලෝක වාර්තාව වේ. එම සම්බන්ධතාව නොවන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් එක්දින තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 80 ට අඩුවෙන් නවතාලීමට ශ්‍රී ලංකාවට ඕනෑ තරම් අවස්ථාව තිබිණ.එහෙත් ඒ සියල්ල රදර්ෆර්ඩ් – මෝති යුගල ඊට හරස්විණ.
මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව බිද වැටෙන විට කොදෙව් ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය. මෙහිදී ඒ අතර තුර රැක ගත හැකි ආකාරයේ පහසුම උඩ පන්දු දෙකක්ම ජනිත් ලියනගේ සහ නිශාන් මදුෂ්ක අතින් ගිලිහී යෑමේ වාසියද ප්‍රතිවාදී පිතිකරුවන් සතුවූහ.
රදර්ෆර්ඩ් ලකුණු 23 ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට දුන් පහසු උඩ පන්දුව මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජනිත් ලියනගේගේ අතින් ගිලිහී යන විට කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 99 ක් වශයෙනි. වෙල්ලාලගේගේ පන්දුවකට ඩීප් මිඩ් විකට්හි පන්දු රැකි නිශාන් මදුෂ්ක විසින් උඩ පන්දුව අත හැර දමන විට රදර්ෆර්ඩ් ලකුණු 72 ක් ලබා ශ්‍රී ලංකාවට කල හැකි උපරිම හානිය සිදුකර තිබුණේය.
කෙසේ වෙතත් ඒ අතරතුර කාලයේදී තමන්ට ලැබුණු උපරිමය වාසිය ලබාගත් රදර්ෆර්ඩ් දැවී යෑමට මත්තෙන් පන්දු 82 කට මුහුණ දී ලබා ගත් ලකුණු 80 ක ඉනිම හේ හතරේ පහර 7 ක් සහ දැවැන්ත හයේ පහර 4 එල්ල කර ගත්තේය. 16 වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දීමට පැමිණි අංක 10 පිතිකරු මෝති රදර්ෆර්ඩ්ට අනගි සහායක් ලබා දෙමින් පන්දු 61 කදී ලකුණු 50 ක් වාර්තා කර ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.
පන්දු යැවීමේදී දඟ පන්දු යවන්නන් වූ වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 7 ක් තමන් සතු කර ගත්හ. එහිදී කැපී පෙනුණු වනිඳුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 8 කදී ලකුණු 40 කට කඩුලු 4 ක් වශයෙනි. පළමු පවර් ප්ලේ අවස්ථාවේ සිටම පන්දු යැවූ මහීෂ් තීක්ෂණ ඉදිරිපෙළ පිතිකරුවන් යුගලයද සමඟ තම පන්දු යැවීම සටහන් කර ගත්තේ පන්දුවාර 9 කදී එක් නිලකුණු පන්දු වාරයක් ද සමඟින් ලකුණු 25 කට කඩුලු 3 ක් වශයෙනි.
දඟ පන්දු යවන්නන්ට සහාය දෙනු ලබන පල්ලේකැලේ තණතීරුවේදී ඉතා දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු ලකුනු 35 කට කඩුල 3 ක් දවා ගත්තේය. වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 44 කට සීමා වෙමින් පැවැත්විණ.
තරගයේ වීරයා – මහීෂ් තීක්ෂණ
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 36 කදී සියලු දෙනා දැවී ලකුණු 189 යි
බ්‍රෙන්ඩන් කිං 16, අලික් අතනාස් 01, කේසි කාර්ටි 06, ෂායි හෝප් 05, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 80, රොස්ටන් චේස් 08, රොමාරියෝ ෂෙපර්ඩ් 04, හේඩඩ්න් වෝල්ෂ් 01, අල්සාරි ජෝසප් 01, ගුඩාකේෂ් මෝති 50*, ජේඩ්න් සීල්ස් 05, වනිදු හසරංග 40/4, මහීෂ් තීක්ෂණ 25/3, අසිත ප්‍රනාන්දු 35/3
ශ්‍රී ලංකාව පන්දුවාර 38.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 190 යි
නිශාන් මදුෂ්ක 38, අවිශ්ක ප්‍රනාන්දු 09, කුසල් මෙන්ඩිස් 03, සදීර සමරවික්‍රම 38, චරිත් අසලංක 62*, ජනිත් ලියනගේ 24, කමිදු මෙන්ඩිස් 11*, අල්සාරි ජෝසප් 30/2, ගුඩාකේෂ් මෝති 18/1, රොස්ටන් චේස් 43/1