කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (21 දා) තරගය අවසන් වන විට ශ්‍රී ලංකා යොවුන් පිල දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
ඉන්දීය යොවුන් කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 411ට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දෙවැනි දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 122ක් පමණක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව තවමත් ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 289ක් පසුපසින් සිටින අතර, ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් කඩුලු 2 කදී තවත් ලකුණු 139 ක් ලබා ගත යුතුව තිබේ.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයද සාර්ථක නොවූ අතර, පළමු කඩුල්ල සඳහා ලකුණු 35ක සම්බන්ධතාවයකින් පසු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියහ. දිමන්ත මහවිතාන හතරේ පහර 5ක් සමඟ ලකුණු 24ක් රැස් කළ අතර, ඇවීෂ සමෂ් ලකුණු 9කට දැවී ගියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා මැද පෙළට ද ඉන්දීය පන්දු යවන්නන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වූ අතර, පසුගිය තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ සෙනුජ වෙකුණගොඩ ලකුණු 5කට සීමා විය. නායක විමත් දිනසර ලකුණු 8කට දැවී ගිය අතර, කවීජ ගමගේ ලකුණු 7ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමට යම් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සාහ කළ විරාන් චමුදිත ලකුණු 21ක් ලබා ගත් අතර, දුල්නිත් සිගේරා හතරේ පහර 5ක් සමඟ ලකුණු 31ක් රැස් කළේය. කෙසේ වෙතත් ඔවුන්ගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම යළි අසීරු තත්ත්වයකට පත්විය.
දෙවැනි දිනය අවසානයේ සෙත්මික සෙනෙවිරත්න (නොදැවී 4) සහ ගිම්හාන් මෙන්ඩිස් (නොදැවී 4) කඩුල්ලේ රැඳී සිටියහ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණු 411කට අවසන් කළේය.
ඉන්දීය ඉනිමේ ප්‍රධාන ශක්තිය වූයේ පිතිකරුවන් තිදෙනෙකුගේ විශිෂ්ට දායකත්වයයි. මනල් චෞහාන් පන්දු 244කදී හතරේ පහර 20ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 150ක් රැස් කළ අතර, කුෂාග්‍ර ඔජා පන්දු 193කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 111ක් ලබා ගත්තේය. නායක යශ්බර්ධන් චෞහාන් ලකුණු 78ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 102කට කඩුලු 3ක් දවා ගත් අතර, සෙත්මික සෙනෙවිරත්න, දුල්නිත් සිගේරා සහ විග්නේෂ්වරන් ආකාශ් කඩුලු 2 බැගින් ලබා ගත්හ.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 105.2 කදී ලකුණු 411 යි – (ලක්ෂ්‍යා රායිචන්දනී 00, සාගර් වර්ක් 00, කුශාග්‍රා ඕජා 111*, යෂ්බදර්ධාන් චෞහාන් 78, මනාල් චෞහාන් 150, ආර්යන් සක්පා 10, කාව්‍ය පටෙල් 06, ජෙගනාදන් හේමචුදේශන් 04, චිගුරුපති වෙන්කට 25, රෝහිත් යාදව් 00, ප්‍රනාව් රාගවේන්ද්‍ර 00*, ගිම්හාන් මෙන්ඩිස් 42/2, සෙත්මික සෙනෙවිරත්න 46/1)
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 40 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 122 යි – (දිමන්ත මහවිතාන 24, අවීශ සමාෂ් 09, සෙනුජ වෙකුණගොඩ 05, විමත් දින්සර 08, කවීජ ගමගේ 07, විරාන් චමුදිත 21, දුල්නිත් සිගේරා 31, ජේසන් ප්‍රනාන්දු 00, සෙත්මික සෙනෙවිරත්න 04*, ගිම්හාන් මෙන්ඩිස් 04*, චිගුරුපති වෙන්කට 23/2, ප්‍රනාව් රාගවේන්ද්‍ර 28/2, රෝහිත් යාදව් 04/2)






