slc
logo
Home   |    News
ජූලි 22, 2026
වනිඳුගේ තුන්ඉරියව් දක්ෂතාවයෙන් කැන්ඩි රෝයල්ස්ට විශිෂ්ට ජයක්

sinhala editor

වනිඳු හසරංගගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හමුවේ 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති 6 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 43කින් පරාජය කරමින් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සිය දෙවැනි ජය වාර්තා කළේය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් කැන්ඩි රෝයල්ස් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග පන්දු 15කින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 29ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 194 දක්වා ඉහළ නැංවීමට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය. අනතුරුව පන්දු යැවීමේදී පන්දුවාර 4 තුළ ලකුණු 19කට එක් කඩුල්ලක් දවා ගනිමින් දඹුල්ල පිතිකරුවන් පාලනය කළ ඔහු තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් කැන්ඩි රෝයල්ස් පිල වෙනුවෙන් ලහිරු උදාර පන්දු 34කින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ වේගවත් ලකුණු 51ක් රැස් කළ අතර, කුසල් පෙරේරා ලකුණු 25ක් සහ මොයින් අලී පන්දු 13කින් ලකුණු 24ක් ලබා දුන්හ. අවසන් මොහොතේ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 29ක් සහ විජය ශංකර් නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළහ.

දඹුල්ල සික්සර්ස් වෙනුවෙන් ෆසාල්හක් ෆාරුකි ලකුණු 20කට කඩුලු 2ක් දවා ගනිමින් කැපී පෙනුණු අතර, මොහොමඩ් වසීම්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ විශ්ව ලහිරු එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට සහිබ්සාදා ෆර්හාන් පන්දු 45කින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟ වේගවත් ලකුණු 74ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 26ක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 27ක් ලබා දුන්නද, අනෙක් පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහය නොලැබීම හේතුවෙන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 151ක් පමණි.

කැන්ඩි රෝයල්ස් පන්දු යවන්නන් අතර නුවන් තුෂාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 29කට කඩුලු 4ක් බිඳ හෙළීය. දුෂාන් හේමන්ත ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත් අතර, ෂහීන් ෂා අෆ්රිඩි සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

කෙටි ලකුණු සටහන

කැන්ඩි රෝයල්ස් – 194/6 (පන්දුවාර 20)
ලහිරු උදාර 51, වනිඳු හසරංග 29, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 29, කුසල් පෙරේරා 25, මොයින් අලී 24.
ෆසාල්හක් ෆාරුකි 2/20.

දඹුල්ල සික්සර්ස් – 151/8 (පන්දුවාර 20)
සහිබ්සාදා ෆර්හාන් 74, රීසා හෙන්ඩ්‍රික්ස් 27, නිරෝෂන් දික්වැල්ල 26.
නුවන් තුෂාර 4/29, දුෂාන් හේමන්ත 2/23.

තරගයේ වීරයා: වනිඳු හසරංග (කැන්ඩි රෝයල්ස්).

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee