slc
logo
Home   |    News
නොවැම්බර් 21, 2024
කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග දෙකෙන් ජයග්‍රහණ අත්කර ගනිමින් මේ මස 24 වැනිදා පැවැත්වෙන කාන්තා තරගාවලියේ අවසාන මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට චිලව් මේරියන්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් 20 වැනිදා සමත්වූහ. යුද හමුදාව සහ චිලව් මේරියන්ස් මේ තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලැබුවේ අවසාන පූර්ව තරග දෙකේ දී යුද හමුදාව කඩුලු හයකින් ගුවන් හමුදාව ද චිලව් මේරියන්ස් කඩුලු 4කින් නාවික හමුදාව ද පරාජය කරමිනි.

 යුද හමුදා – ගුවන් හමුදා තරගයේ දී ගුවන් හමුදාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට රැස් කළ ලකුණු 108ට පිළිතුරු ලෙස යුද හමුදාව පන්දුවාර 28.1කදී කඩුලු 4කට ලකුණු 113ක් ලැබීය. නාවික හමුදාව පන්දුවාර 50දී කඩුලු 7කට රැස් කළ ලකුණු 187ට පිළිතුරු ලෙස චිලව් මේරියන්ස් කඩුලු හයකට ලකුණු 189ක් රැස් කළේ තියුණු තරගයකට පසුවය.

 මෙම අවසාන පූර්ව තරග දෙකෙන් වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේ වනාතමුල්ල පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති චිලව් මේරියන්ස් – නාවික හමුදා තරගයයි.

 මේ තරගාවලියට ඉදිරිපත් වු ප්‍රබලම කණ්ඩායමක් වන නාවික හමුදාව කඩුලු හතකට රැස් කළ ලකුණු 187 හඹායද්දී චිලව් මේරියන්ස්ට ජයග්‍රහණය අත්කර ගැනීමට මුල් වුයේ ඔවුනගේ තෙවැනි කඩුල්ලට ආරම්භක පිතිකාරිණිය ඉමේෂා දුලානි (80) සහ අංක හතර පිතිකාරිණිය මනුදි නානායක්කාර (53) පන්දු 151කදී එක් කළ ලකුණු 112ක සබඳතාවයයි.

 ඉමේෂා දුලානි මෙදින දක්ෂ පිතිහරඹයක නියැළෙමින් පන්දු 130කට මුහුණ දී හතරේ පහර හයක් සමඟ ලකුණු 80ක් ද මනුදි නානායක්කාර පන්දු 78කදී හතරේ හයක් හයේ පහරක් සමඟ ලකුණු 53ක් ද රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 2කට ලකුණු 154 දක්වා ඉහළ නැංවුයේ තම කණ්ඩායමට අවසාන තරගයට පිවිසීමේ බලාපොරොත්තු ඇති කරමිනි.

 නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (33/3යි) මුළු ලකුණු 154දී තෙවැනි කඩුල්ල දවා තම කණ්ඩායම නැවත තරගයට ඇතුළු කිරීමට ප්‍රබල පන්දු යැවීමක නිරත වුවත් ඒ වන විටත් ඔවුන් දැරූ උත්සාහය ප්‍රමාද වී තිබෙන අයුරු දක්නට ලැබිණි.

 සත්‍යා සංදීපනී දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 80ක් රැස් කළ ඉමේෂා දුලානිත් චිලව් මේරියන්ස් කණ්ඩායමේ ප්‍රබලම පිතිකාරිණිය වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක හතර පිතිකාරිණිය වන කවීෂා දිල්හාරිත් (07) තවත් ප්‍රබල පිතිකාරිණියන් වන මල්ෂා මධුෂානිත් (01) දවාලීමට සමත් වුවාය.

 යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් යුද හමුදාව කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය.

 ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පිවිසියේ අංක පහ පිතිකාරිණිය ඩිලානි මනෝදරා සහ අංක හතර පිතිකාරිණිය සඳුනි අබේවික්‍රම පමණකි. ඩිලානි මනෝදරා පන්දු 98කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 41ක් රැස් කර කණ්ඩායමේ වැඩිම ලකුණු රැස් කළ පිතිකාරිණිය බවට පත් වුවාය. සඳුනි අබේවික්‍රම ලකුණු 22ක් රැස් කළේ පන්දු 108කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟිනි.

 ඩිලානි සහ සඳුනි ගුවන් හමුදා සිව්වන කඩුල්ලට ලකුණු 71ක සබඳතාවයක් තබා ගත්තේ පන්දු 71කට මුහුණ දෙමිනි. ගුවන් හමුදාව ලකුණු 108කට දවාලීමට මුල් වු සඳනි ද සිල්වා ලකුණු 15කට කඩුලු පහක් ද රන්දි ප්‍රේමරත්න ලකුණු 17කට කඩුලු දෙකක් ද දවාලුහ.

 යුද හමුදාව ලකුණු 109ක පහසු ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකාරිණිය අනුෂ්කා සංජීවනී ප්‍රථම කඩුල්ලට ඉමල්කා මෙන්ඩිස් සමඟ පන්දු 72කදී ලකුණු 42ක සබඳතාවයක් ද දෙවන කඩුල්ලට අනුෂ්කා සංජීවනී, නෙත්මි සේනාරත්න සමඟ පන්දු 34කදී ලකුණු 24ක සබඳතාවයක් ද තබා ගනිමින් ජයග්‍රහණය අසළටම ළඟා විණි.

 යුද හමුදා පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු අනුෂ්කා සංජීවනී පන්දු 61කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟ ලකුණු 34ක් ද අංක හතර පිතිකාරිණිය නිලක්ෂිකා සිල්වා පන්දු 25කට මුහුණ දී හතරේ පහර දෙකක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 27ක් ද ලබා සිටියහ.

 ලකුණු පුවරුව

  • යුද හමුදාව කඩුලු 6කින් ගුවන් හමුදාව පරාජය කරයි

 ගුවන් හමුදාව පන්දුවාර 50දී කඩුලු 9ට 108යි – (ඩිලානි මනෝදරා 41, සඳුනි අබේවික්‍රම 22, ඕෂදී රණසිංහ 09, තාරුකා ෂෙහානි නොදැවී 09, සඳනි ද සිල්වා 15/5, රන්දි ප්‍රේමරත්න 17/2)

 යුද හමුදාව පන්දුවාර 28.1කදී කඩුලු 4ට 113යි – (අනුෂ්කා සංජීවනී 34, නිලක්ෂිකා සිල්වා නොදැවී 27, ඉමල්කා මෙන්ඩිස් 22, නෙත්මි සේනාරත්න 10, තරුෂි තත්සරණි 30/2, ඕෂදී රණසිංහ 30/1)

  • චිලව් මේරියන්ස් කඩුලු 4කින් නාවික හමුදාව පරාජය කරයි

 නාවික හමුදාව පන්දුවාර 50දී කඩුලු 07ට 187යි – (හංසිමා කරුණාරත්න 60, හසිනි පෙරේරා 25, තාරිකා සෙව්වන්දි නොදැවී 22, සත්‍යා සංදීපනී 14, හර්ෂිතා සමරවික්‍රම 12, දෙව්නි විහංගා 26/3, සචිනි නිසංසලා 21/2)

චිලව් මේරියන්ස් පන්දුවාර 48.1කදී කඩුලු 6ට 189යි – (ඉමේෂා දුලානි 80, මනුදි නානායක්කාර 53, සචිනි නිසංසලා 11, කාව්‍යා කාවින්දි නොදැවී 10, කවීෂා දිල්හාරි 07, සත්‍යා සංදීපනී 33/3, ඉනෝකා රණවීර 29/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee