මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දවස වූ අද දිනයේදී මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 60 ක පරාජයක් අත්වින්දේය. ‘ඒ‘ කාණ්ඩය යටතේ ඉන්දියාව මූලික වටයේ සහභාගිවූ තරග 3 න් 3ම ජය ගනිමින් අපරාජිතව සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට සුදුසුකම් ලබද්දී ශ්‍රී ලංකාව සහභාගිවූ තරග 3 න් 2 ක් ජය ලබා එම තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙම තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු යවමින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුවද පෙර තරග වලට සාපේක්ෂව පිතිකාරිණියන් දැක්වූ දුර්වලතාවය ප්‍රධාන කොට මෙම තරගය පරාජයට පත්විය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටි අතර එහිදී ඉන්දියානුවෝ පන්දුවාර 20 අවසනදී සියලු දෙනා ලකුණු 118 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.
කෙසේ වෙතත් එම පහසු ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකාරිණියන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතු කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 58 ක් පමණි.
එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 4 ම ඉන්දීය ආරම්භක පන්දු යවන්නියන් වූ හබ්නම් සහ ජෝශිතා දවා ගැනීමට සමත් වද්දී පස්වැනි කඩුල්ල ලෙස නායිකා මනුදි නානායක්කාර දුවද්දී දැවී යෑමකට හසු වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 12 ට කඩුලු 5 ක් වශයෙනි. පවර් ප්ලේ අවස්ථාව අවසන් වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී පෙරමුණ බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා මැද පෙළ සහ පසු පෙළ පිතිකාරිණියනට හිස එසවීමට ඉන්දීය පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ. කෙසේ වෙතත් සටන අත්නොහළ ශ්‍රී ලංකා පිතිකාරිනියෝ පන්දුවාර 20 අවසන් වන තෙක් සිය ඉනිම ආරක්ෂා කර ගැනීමට සමත්වීම කැපී පෙනිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කිරීමට සමත්වූයේ උප නායිකා රශ්මිකා සෙව්වන්දි වන අතර ඇය පන්දු 12 කදී හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 15 ක් රැස් කළාය.
තරගය ආරම්භයේ සිටම ඉන්දීය පිතිකාරිණියන්ට හිසරදයක් බවට පත්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී පළමු කඩුලු 2 ම ලකුණු 17 කදී දවා ලමින් පීඩනයක් එල් කිරීමට ප්‍රමුදි මෙත්සරා සමත් වූවාය. ඇය එම කඩුලු 2 ම තම පළමු පන්දුවාරයේදීම දවා ගැනිමට සමත්වූවාය. ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ සිය ආධිපත්‍ය ගොඩ නගා ගැනීමට ඉන්දීය පිතිකාරිණියන් අසමත්ව සිටින අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු ආරම්භක පිතිකාරිණී ට්‍රිෂා ගොන්ගාදි පන්දු 44 කට මුහුණ දෙමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 49 ක් රැස් කරමින් ඉන්දීය ඉනිමට ජිවය ලබා දුන්නාය. එම ඉනිම නොවන්නට ඉන්දීය ඉනිම ලකුණු 100 කට අඩුවෙන් දැවී යැමේ අවධානමකට මුහුණ දී සිටියේය. කෙසේ වෙතත් එම සුවිශේෂී ඉනිම ප්‍රධානකොට එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන්ද ට්‍රීෂා පිදුම් ලැබුවාය.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතර ප්‍රමුදි මෙත්සරා, ලිමන්සා තිලකරත්න සහ අසේනි තලගුණේ කඩුලු 2 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමු තරග 2 දී කඩුලු 7 ක් දවා ලමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභිණියන් අතර පළමු ස්ථානයට පැමිණ සිටින චමුදි ප්‍ර බෝධාට අද තරගයේදී කඩුලු දවා ගැනීමට අවස්ථාව නොලැබුණු නමුත් තවමත් ඇය වැඩිම කඩුලු ලාභිණියන් අතර පළමු ස්ථානයේ රැදී සිටින්නේ ස්කොට්ලන්තයේ මයිසියි මසෙයිරා සමග සම තැන් ගනිමිනි. මොවුන් දෙදෙනාම කඩුලු 7 බැගින් දවා සිටියද පන්දු වාරයකට ලබාදී තිබෙන ලකුණු සංඛ්‍යාව චමුදිගේ අඩු බැවින් ඇයට එම සටහනේ පළමු ස්ථානය තවමත් වෙන්ව තිබේ.
පිට පළාත්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇති ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහන යටතේ සිදුකරන ලද දක්ෂතා ගවේෂණයේදී චමුදි ප්‍රබෝධාව සොයා ගැනීමට තේරීම් කමිටුවට අවකාශ සැලසිණ. 15 හැවිරිදි වියේ පසුවන චමුදි සිය පළමු ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන විට අවුරුදු 14ක තරම් වයස පසුවූවාය. 15 හැවිරිදි වියේ පසුවන චමුදි මොණරාගල පඤ්ඤානන්ද විදුහලේ අධ්‍යාපන හදාරමින් සිටින අය මේ වන විට සහභාගිව සිටින්නේ සිය දෙවැනි අවු. 19 න් පහළ බාළිකා ලෝක කුසලාන තරගාවලියට වේ. මේ අතර මෙතෙක් පැවැති තරග වලදී කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත්ව සිටින ලිමන්සා තිලකරත්න වැඩිම පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ පස්වැනි තැන රැඳී සිටින්නේ කඩුලු 6 ක් දවා ගනිමිනි.
ඉන්දීය බාළිකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 118 යි – (ට්‍රීෂා ගොන්ගාදි 49, නිකි ප්‍රසාද් 11, මිතිලා විනෝද් 16, ජෝෂිතා වී.ජේ. 14, ප්‍රමුදි මෙත්සරා 10/2, ලිමන්සා තිලකරත්න 14/2, අසේනි තලගුණේ 24/2)
ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 58 යි – (රශ්මිකා සෙව්වන්දි 15, ශබ්නම් 09/2, ජෝෂිතා 17/2, පරුනිකා සිසෝදියා 07/2)