කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය, නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව මාර්තු මස 04 වැනිදා නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 2025 වසර උදාවීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේද හෙටින් ආරම්භ වන එක්දින තරගාවලිය වේ.
හෙටින් ආරම්භ වන දෙරට අතර එක්දින තරගාවලිය තරග 3 කින් සමන්විත වන අතර අනතුරුව ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය තරග 3 කින් සමන්විත වෙනු ඇත.
“ඇත්තටම මෙහි ක්‍රීඩාංගණ සහ දේශගුණික තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ඒවාත් එක්ක සංසන්දනය කරද්දී ලොකු වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම මෙහි තණතීරු වේගවත් හා ඉපිලීමකින් යුක්ත ඒවා. නමුත් කණ්ඩායමක් විදියට අපි මේ තත්ත්වයන්ට ඉක්මනින්ම හුරු විය යුතුයි. අන්තිම දින දෙක ගත්තහම කාලගුණය ඉතාමත් හොඳයි. ඒ වගේම තරගය පැවැත්වෙන හෙට දිනයේදීත් කාලගුණය ඒ අයුරින්ම තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා“ යැයි තරගයට පෙර නවසීලන්තයේදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටියාය.
“අපි මේ තරගාවලියට අවතීර්ණ වන්නේ මාස 4 ක විවේක කාලයකින් අනතුරුවයි. ජාත්‍යන්තර තරග නොමැති වුවත් අපි දේශීය තරගවලට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම මේ තරගාවලියට පිටත්ව වෙන්න කළින් අපි තේරීම් තරග කීපයකටත් ක්‍රීඩා කළා. මම බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩිකාවන් මේ තරගාවලියේදී නිර්භීතව ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කරයි කියලා“ යැයි චමරි වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.
බලාපොරොත්තු සුන් කරවන ලද පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි සහභාගිත්වයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවනු ලබන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙය වන අතර එම තරගාවලියේදී නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 8 ක පරාජයකට මුහුණ දුන්නේය. කෙසේ වෙතත් එක්දින තරග අංශයේදී ශ්‍රී ලංකාව අවසන් වතාවට නවසීලන්තය මුණ ගැසුණු අවස්ථාවේදී ඔවුන්ව පරදා කඩලු 8 ක ජයක් වාර්තා කිරීමට සමත් වූවා පමණක් නොව ශ්‍රී ලංකාවේ පැවැති දෙරට අතර එක්දින තරගාවලිය 2-1 ක් ලෙස තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තාවෝ සමත්වීම හෙට තරගයට ධනාත්මකව අවතීර්ණ වීම සඳහා හොද වේදිකාවක් නිර්මාණය කර දී තිබේ.
“ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් මේ වන විට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා. ඒ නිසා මම හිතනවා කණ්ඩායම් දෙකටම ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙර සූදානම් වීමට මේ තරගාවලිය ඉතා වැදගත් තරගාවලියක් වෙනවා කියලා. ඔව් මම දන්නවා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ මේ තියෙන තත්ත්වයන් වලට හාත්පසින්ම වෙනස්ම තත්ත්වයක කියලා. නමුත් මම හිතන්නේ කණ්ඩායම් දෙකේම තරුණ ක්‍රීඩිකාවන් සිටින නිසා ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් විදියට මේ තරග යොදා ගැනීමට අවස්ථාව උදාවෙනවා කියලා. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවන්ට මේ තරගාවලිය හොද අවස්ථාවක්“ යැයි චමරි පවසා සිටියාය.
ශ්‍රී ලංකාවේ අවසන් තරගාවලිය මෙන්ම නවසීලන්ත කණ්ඩායමද අවසන් වතාවට ඔස්ට්‍රේලියාව හමුවේ තරග වැදි තරගාවලිය 2-0 කින් පරාජයට පත්වීමෙන් පසු හෙට තරගාවලියට අවතීර්ණවීමට නියමිතය. සුසී බේට්ස්ගේ නායකත්වයෙන් යුතුව මෙම තරගාවලියට අවතීර්ණ වන නවසීලන්ත කණ්ඩායම මුහුණ දී සිටින බරපතලම ගැටළුව වන්නේ තම කණ්ඩායම සතු ප්‍රධානම ක්‍රීඩිකාවක් වන සොෆී ඩිෆයින් සහ බෙලා ජේම්ස් නොමැතිව ක්‍රීඩා කිරීමට සිදුවීමයි.
චමරි අතපත්තුගේ නායක්තවයෙන් යුතුව මෙවර තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේද පෙර නියෝජනය කරන ලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වෙනුවට තරුණ ක්‍රීඩිකාවන් කීප දෙනෙකුම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ඒ අතර ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර සහ ඇයගේ සහායිකාව වන රශ්මිකා සෙව්වන්දි යන ක්‍රීඩිකාවන්ද පසුවෙති. මනුදි ජාතික කණ්ඩායමට කැඳවන ලද පළමු අවස්ථාව මෙය වන නමුත් රශ්මිකාව අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති විස්සියි-20 තරග අංශය සඳහා කැඳවනු ලැබීය. එහෙත් ඇයට තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය.
“මනුදි නානායක්කාර සහ රශ්මිකා සෙව්වන්දි දෙදෙනාම වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන්. ඔවුන්ට අමතරව විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම වගේම කවීෂා දිල්හාරි. එයාලා කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩිකාවන්. මම බලාපොරොත්තු වෙනවා ඔවුන් ඔවුන්ගේ උපරිමයෙන්ම මේ තරගාවලිය ක්‍රීඩා කරයි කියලා. අපේ කණ්ඩායම නවක සහ ජ්‍යෙෂ්ඨ හොඳ මිශ්‍රණයකින් යුතු කණ්ඩායමක්. මම බලාපොරොත්තු වෙනවා මේ ක්‍රීඩිකාවන් ඉතා හොඳින් මේ තරගාවලියෙදි ක්‍රීඩා කරයි කියලා“ යැයි අතපත්තු වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනාට අමතරව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නියක් වන චේතනා විමුක්ති ඇතුළත්ව සිටින්නීය. ඇයට අමතරව අත්දැකීම් අඩු ක්‍රීඩිකාවක වන ඉමේෂා දුලානී සහ කෞෂිනී නුත්‍යාංගනාද නවක ක්‍රීඩිකාවන් ලෙසිනු කණ්ඩායමේ පසුවෙති. මොවුන් කණ්ඩායමට පැමිණීමේදී කණ්ඩායමේ සිටි ප්‍රභල ක්‍රීඩිකාවන් වන ඉනෝකා රණවීර, අමා කාංචනා සහ හසිනි පෙරේරාට ස්ථාන අහිමිවීමද කැපී පෙනෙයි.
මේ අතර කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නිය වන උදේහිකා ප්‍ර බෝධනී ආබාධයකට ලක්වීම නිසා ඇය මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඒ වෙනුවට මල්කි මදාරා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතුව සිටියි. ඒ අනුව මල්කිට හෙට තරගයට ක්‍රීඩා කිරීම සඳහා හොඳ අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා නායිකාව සඳහන් කර සිටියාය.
නවසීලන්ත කණ්ඩායම – සුසී බේට්ස් (නායිකා), ඊඩන් කාසන්, ඉසබෙලා ගාස්, මැඩී ග්‍රීන්, බෘෘක් හිලිදා, බ්‍රී ඉලිං, ලෝරන් ඩවුන්, ජෝර්ජියා ප්ලිමර්, එමා මැක්ලියොඩ්, ෆ්‍රාන් ජෝනාස්, ජෙසිකා කර්, හනා රෝව්, හේලී ජෙන්සන්, පොලී ඉංග්ලිස්, බෙලා ජේම්ස්.
ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යාංගනා, නිලක්ෂ ද සිල්වා, කවීෂා දිල්හාරි, මනුදි නානායක්කාර, රශ්මිකා සෙව්වන්දි, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය, සුගන්ධිකා කුමාරි, සචිනි නිසංසලා, චේතනා විමුක්ති, මල්කි මදාරා.