ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (29 දා) දිනයේදී ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 370 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ලකුණු 313 කට සීමා වීම නිසා කුසලාන ජයග්‍රහණය සඳහා පියවරක් ඉදිරියට පැමිණිමට ගෝල් කණ්ඩායම සමත්ව සිටියි. ලකුණු 57 ක පළමු වාසියද සමගින් නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියි.
ඒ අනුව මේ වන විට සමස්ථ තරගයේදී ගෝල් කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව දෙවැනි ඉනිිමේදී ලකුණු 196 ක් පෙරමුණේ පසුවෙයි. මෙම තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වන අද දිනයේදී කුසලාන ජයග්‍රහණය කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට නම් දඹුලු කණ්ඩායම ඉක්මනින්ම ගෝල් කණ්ඩායමේ ඉතිරි කඩුලු 6 දවාලමින් ලබාදෙන ඉලක්කය හඹා යා යුතු වේ.
දිිනය නිමා වන විට දුනිත් වෙල්ලාලගේ ලකුණු 18 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි. පළමු ඉනිමේදීද ලකුණු 80 ක් ලබා ගනිමින් ගෝල් පිලට ශක්තියක් දුන් චන්දිමාල් දෙවැනි ඉනිමේ ලබා සිටින ලකුණු 54 වෙනුවෙන් පන්ද 97 කට මුහුණ දී සිටින්නේ හතරේ පහර 4 ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. පළමු ඉනිමේ ශතක ලාභී ඔෂද ප්‍රනාන්දු ලකුණු 19 කට දැවී ගියේය. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස් ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු සහ ඉනුක කරන්නාගොඩ කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
කඩුලු 5 කට ලකුණු 154 ක් ලබා සිටියදී තෙවැනි දිනය ආරම්භ කළ දඹුල්ල ඉනිම ලකුණු 313 කට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නිම්සර අතරගල්ල ලකුණු 101 කට කඩුලු 5 ක් දවාලූයේය. දෙවැනි දිනය අවසන කඩුලු 4 ක් දවාගෙන සිටි දකුණත් වේග පන්දු යවන්නා අද දිනයේදී චමිඳු වික්‍රමසිංහගේ කඩුල්ල දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කර ගත්තේය.
ගෝල් පන්දුයවන්නන්ගේ පීඩනය හමුවේ තම පිතිත නොබියව හැසිරවූ විශාද් රන්දික අද දිනයේදී සිය 7 වැනි පළමු පෙළ ශතකය වාර්තා කර ගැනීමට සමත්විය. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් ඔහු දැවී යන විට පන්දු 186 කට මුහුණ දී ලකුණු 124 ක් ලබා සිටියේ තම ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් කර ගනිමිනි.
හෙට තරගයේ සිව්වැනි සහ අවසාන දිනය වේ.
ගෝල් පළමු ඉනිම පන්දුවාර 96.2 කදී සියලු දෙනා දැවී ලකුණු 370 යි – (ඔෂද ප්‍රනාන්දු 120, තුලින ඩිල්ෂාන් 07, දිනේෂ් චන්දිමාල් 80, නිපුන් ධනංජය 04, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, නිසල තාරක 01, රමේෂ් මෙන්ඩිස් 31, සංතුෂ් ගුණතිලක 39, විජයකාන්ත් වියස්කාන්ත් 00 නිම්සර අතරගල්ල 118, මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2, ඉනුක කරන්නාගොඩ 38/1, චමිදු විජේසිංහ 48/1, විශ්ව ප්‍රනාන්දු 91/1)
දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 84.2 කදී සියලු දෙනා දැවී ලකුණු 313 යි (රොන් චන්ද්‍රගුප්ත 65, නිශාන් මදුෂ්ක 17, දිනුර කලුපහන 00, සම්මු අශාන් 35, ධනංජය ද සිල්වා 08, විශාද් රන්දික 124, චමිදු විජේසිංහ 28, ඉනූක කරන්නාගොඩ 04, අකිල ධනංජය 02, මොහොමඩ් ශිරාස් 11, විශ්ව ප්‍රනාන්දු 00, නිම්සර අතරගල්ල 101/5, විජයකාන්ත් වියස්කාන්ත් 28/2, රමේෂ් මෙන්ඩිස් 43/1, දුනිත් වෙල්ලාලගේ 31/1)
ගොල් දෙවැනි ඉනිම පන්දුවාර 44 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 139 යි – (දිනේෂ් චන්දිමාල් 54*, නිපුන් ධනංජය 22, අවිශ්ක පෙරේරා 13, දුනිත් වෙල්ලාලගේ 18*, තුලින ඩිල්ෂාන් 07, ඔෂද ප්‍රනාන්දු 19, මොහොමඩ් ශිරාස් 17/2, විශ්ව ප්‍රනාන්දු 31/1, ඉනුක කරන්නාගොඩ 16/1)