ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි චන්දිමාල් පන්දු 195 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 132 ක් රැස් කළ අතර නායක රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් රැස් කළේය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් පළමු දිනයේ දී ගෝල් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 265ක් ලබා ගැනීමට සමත් විය.
ආරම්භක පිතිකරු ඔෂධ ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී යෑමෙන් පසු පිටියට එක්වූ චන්දිමාල් තුලින දිල්ෂාන් සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 10ක්, තෙවැනි කඩුල්ලට නිපුන් ධනංජය සමඟ එක්ව ලකුණු 27ක්, සිව්වැනි කඩුල්ලට අවිෂ්ක පෙරේරා සමඟ එක්ව ලකුණු 28ක්, පස්වැනි කඩුල්ලට දුනිත් වෙල්ලාලගේ සමඟ ලකුණු 35ක් එක් කරමින් ඉනිම ගොඩනැගීය. දිනයේ හොඳම සබඳතාව රමේෂ් මෙන්ඩිස් සමඟ පන්දු 217කදී ලකුණු 119ක් එක්කර සිටියදී චන්දිමාල් දැවී ගියේය. පන්දු යැවීම්දී ධනංජය ලක්ෂාන් ලකුණු 51කට කඩුලු 3ක් බිඳහෙලීමට සමත් විය.
ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 265 (ඕවර් 83.2)
දිනේෂ් චන්දිමාල් 132, රමේෂ් මෙන්ඩිස් නොදැවී 56, දුනිත් වෙල්ලාලගේ 21, සන්තුෂ් ගුණතිලක 15, (ධනංජය ලක්ෂාන් 51/3)