ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දමුල්ල සහ ගාල්ල කණ්ඩායම් සහභාගිවන අවසන් මහ තරගය කොළඹ එස්. එස්. සී. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (30 වැනිදා) ආරම්භ වනු ඇත. අවසන් මහ තරගය ලබන මැයි 03 වැනිදා අවසන්වීමට නියමිතය
කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පස්වැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු සහ දෙවැනි ස්ථානය දිනාගනිමින් මෙම අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබාගැනීමට දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සමත්වූහ. මෙහිදී මූලික වටය යටතේ තරග 4 කට ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පූර්ණ තරග ජයග්‍රහන 2 ක් සහ එක් පළමු ඉනිමේ ජයක් සමගින් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබාගනිද්දී එක් පූර්ණ ජයග්‍රහණයක් සමඟින් ගාල්ල කණ්ඩායම එම තරග වරමට සුදුසුකම් ලබා ගත්තේය.
මෙවර තරගාවලියේ ප්‍රභලම කණ්ඩායම බවට පත්ව සිටින දඹුල්ල කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් නායක ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ගාල්ල කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් විසින් මෙහෙයවු ලබති. තරගාවලිය ආරම්භයේදී ගෝල් කණ්ඩායම පසිඳු සූරියබණ්ඩාර විසින් මෙහෙයවනු ලැබූවද ඔහු ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ අබුඩාබි තරග සංචාරයට සහභාගිවීම නිසා කණ්ඩායමේ නායකත්වය රමේෂ් මෙන්ඩිස් කර මත පැටවිණ.
මෙතෙක් පැවැති තරගාවලි 4දී කණ්ඩායම් දෙකම එක් වතාව බැගින් නැෂනල් සුපර් ලීග් ශූරතා කුසලාන දිනාගෙන සිටින බැවින් මෙවර තරගාවලිය ජයගනු ලබන කණ්ඩායම මෙතෙක් වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වනු ඇත. මේ පිළිබඳව කණ්ඩායම් දෙකම සිටින්නේ ඉතාමත් විමසිලිමත් භාවයෙනි.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් මෙවර තරගාවලියේදී වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවා බවට පත්ව සිටින්නේ නායක ධනංජය ද සිල්වා වන අතර ඔහු තරග 4 කදී ශතක 3 ක් ද සමඟින් මුලු ලකුණු 361 ක් ලබා සිටින්නේය. ඔහු මෙවර වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන්නේය.
ධනංජය ද සිල්වා මෙන්ම දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම කැපවීමක් කළ පන්දු යවන්නා බවට පත්ව සිටින අකිල ධනංජය ද දඹුල්ල කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු මෙවර තරගවාරයේ තරග 4 කදී කඩුලු 35 ක් ලබා වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ කිසිවකුටවත් ඔහු ආසන්නයට බැරි තරම් ඉදිරියට පැමිණෙමින්. ඔහු පසුව වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ශිරාන් ප්‍රනාන්දු දවාගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 15 ක් වේ.
දඹුල්ල කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා ඒ අයුරින් පවතිද්දී ගාලු කණ්ඩායමේද දක්ෂ පන්දු යවන්නන් ලෙසින් දුනිත් වෙල්ලාලගේ සහ දුවිඳු තිලකරත්න ඉදිරියෙන් පසුවෙති. වේලලාලගේ තරග 4 කදී කඩුලු 14 ක් දවා ගනිද්දී දුවිඳු කඩුලු 12 ක් දවා ගෙන සිටින්නේය.
පිතිකරුවන් අතර අවධානය යොමු කිරීමේදී ගාල්ල නායක රමේෂ් මෙන්ඩිස් තරග 4 කදී ලකුණු 374 ක් ලබා සිටින්නේ මෙතෙක් වැඩිම ලකුණු ලද පිතිකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණෙමිනි. ඔහු හැරුණු කොට නිපුන් ධනංජය තරග 4 කදී ලකුණු 336 ක් ලබා එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට පැමිණ සිටින්නේය.
දඹුල්ල කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුෂ්ක (උප නායක), ලසිත් කෘෘස්පුල්ලේ, රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, විශාද් රන්දික, ප්‍රියමාල් පෙරේරා, සහන් කෝසල, සම්මු අශාන්, සොනාල් දිනූෂ, දසුන් ශානක, දිනුර කලුපහන, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, චමිඳු විජේසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, අකිල ධනංජය, දුවිඳු තිලකරත්න, විහස් තෙව්මික
ගාල්ල කණ්ඩායම – රමේෂ් මෙන්ඩිස් (නායක), ඕෂධ ප්‍රනාන්දු, නිපුන් ධනංජය, අවිශ්ක පෙරේරා, තුලින ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, ක්‍රිෂාන් සංජුල, විනුර දුල්සර, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, ඩිල්ෂාන් මදුශංක, නිසල තාරක, උදිත් මදුෂාන්, නිම්සර අතරගල්ල, දිලුම් සුදීර, විජයකාන්ත් වියස්කාන්ති, ශෂික දුල්ෂාන්, ලක්ෂාන් සදකැන්.