‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට කිසිදු අපහසුවකින් තොරව සුදුසුකම් ලබා ගැනීමට අද (19 දා) පස්වරුවේදී සමත්වූවේය. ශ්‍රී ලංකාව මේ වන විට සහභාගිවුණු තරග 3 න් 3 ම ජය ගනිමින් තරගාවලියේ මෙතෙක් අපරාජිත එකම කණ්ඩායම බවට පත්ව සිටින්නේය.
මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 46 කදී ලකුණු 192 කට සීමා කිරීමට ඩිල්ෂාන් මදුශංක ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නෝ සමත්වූහ. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු වමත් වේග පන්දු යවන මදුශංක පන්දුවාර 8 කදී ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගනිද්දී පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්හ. ඔවුන් දෙදෙනාට අමතරව මිලාන් රත්නායක කඩුලු 2 ක් සහ තරිඳු රත්නායක එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලූහ.
ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නන් හමුවේ එකම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූයේ ක්‍රිස්ටෝපර් දි ෆ්‍රෙයිටස් වන අතර ඔහු පන්දු 97 කට මුහුණ දෙමින් ලකුණු 67 ක් ලබා ගත්තේය. නොබිඳුණු ඉනිමක් ලෙසින් සටහන් වුණු ක්‍රිස්ටෝපර්ගේ ඉනිම සඳහා එක් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්ව තිබුණේය.
ජයග්‍රාහී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සාර්ථක ආරම්භයක් එක් කිරීමට ලසිත් කෘෘස්පුල්ලේ සහ ළහිරු උදාර දෙදෙනා සමත්වූවේය .පළමු කඩුල්ලේ සම්බන්ධතාව මුලු ලකුණු සංඛ්‍යාව 107 ක්ව බිඳ වැටෙද්දී ඒ සඳහා ඔවුන් දෙපළ වැය කර තිබුණේ පන්දු 73 ක් පමණි.
මෙහිදී වේගවත් පිතිහරඹයක නියැළුණු ලසිත් කෘෘස්පුලේ ලබා ගත් ලකුණු 53 සඳහා හේ පන්දු 33 ක් පමණක් වැය කළේය. ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පළමු පිතිකරුවා ලෙසින් කෘෘස්පුලේ දැවී යන විට තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් හේ වර්ණවත් කර තිබුණේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ළහිරු උදාර පන්දු 44 කදී ලකුණු 47 ක් රැස් කළේ හතරේ පහර 6 ක් ද සමගිනි.
අවසානයේ අයර්ලන්ත කණ්ඩායම ලබා දුන් ඉලක්කය පන්දුවාර 27.1 ක් අවසනදී කඩුලු 4 ක් පමණක් දැවී ලබා ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ පහසු ජයකට මං පෙත් විවර කර දුන්හ.
පෙර තරගයේදී ශතකයක් වාර්තා කරගැනීමට සමත්වූ නායක සදීර සමරවික්‍රම අද දිනයේදී ද ලකුණු 50 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිිනි. පන්දු 47 ක් පමණක් වැය වුණු සදීරගේ ඉනිම හතරේ පහර 5 කිින් පමණක් වර්ණවත්ව තිබුණේය.
තරගයේ වීරයා ලෙසින් කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් ඩිල්ෂාන් මදුශංක සම්මාන දිනා ගත්තේය.
අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 192 යි – (ස්ටීවන් ඩොහෙනී 31, මෝර්ගන් ටොපිං 45, ක්‍රිස්ටෝපර් දි ෆ්‍රෙයිටාස් 67*, රොස් අඩයර් 27, ඩිල්ෂාන් මදුශංක 44/4, මිලාන් රත්නායක 26/2, දුෂාන් හේමන්ත 24/3, තරිඳු රත්නායක 34/1)
ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 27.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 193 යි – (ළහිරු උදාර 47, ලසිත් කෘෘස්පුල්ලේ 53, සදීර සමරවික්‍රම 50*, සහන් ආරච්චිගේ 12, සොනාල් දිනූෂ 12*, ගැවින් හෝයි 47/3, ස්කොට් මැක්බෙත් 36/1)