බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ සමගම තරග 6 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම කරට කර සිටිති.
දීර්ඝ ඉනිම කරා යෑමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් අසමත්වීම නිසා ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවාර 48.5 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 211 ක් පමණි. එම පහසු ඉලක්කය හඹා ගිය සංචාරක පිතිකරුවෝ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේ පන්දු 93 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබාගනිමිනි.
ජයග්‍රාහී බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැලුණු ආරම්භක පිතිකරු සවාඩ් අබ්රාර් හයේ පහර 6 ක් සහ හතරේ පහර 14 ක් ද සමඟින් පන්දු 106 කදී වේගවත් ලකුණු 130 ක් ලබා ගත්තේය. මෙම ඉනිම නොබිඳිව තබා ගැනීමට ඔහු සමත්වීමද විශේෂත්වයක් විය. කලාම් සිද්දිකි ලකුණු 05 ක් ලබා සිටියදී මාතුලන්ගේ පන්දුවක් හමුවේ දුල්නිත් සිගේරා අතට උඩ පන්දුවක් දී දැවී ගිය අතර අබ්රාර් ට එක්වූ අංක 3 පිතිකරු අසිසුල් හකීම් පන්දු 89 කදී ලකුණු 69 ක් ලබා ගනිමින් බංග්ලාදේශ යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මොවුන් දෙදනොගේ දෙවැනි ඉනිමේ නොබිඳුණු සම්බන්ධතාවය පන්දු 183 කදී ලකුණු 180 ක් විය.
ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් එකම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූයේ චාමික හීනටිගල පමණි. ඔහු පන්දු 91 කදී ලකුණු 51 ක් ලබා ගත් අතර දිනුර දම්සිත් ලකුණු 47 ක් ලබා ගත්තේය. මොවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 95 කදී ලකුණු 81 ක් විය. කඩුලු 4 ක් ලකුණු 102 ක් ඇතුළත දැවී ගොස් තිබියදී පිටියට එක්වුණු මොවුන් දෙපළගෙන් දිනුර දම්සිත් පිටියෙන් ඉවත්වන විට මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට ලකුණු 183 ක් වශයෙන් සටහන්ව තිබිණ. කෙසේ වෙත් පසු පෙළ පිතිකරුවන්ට පිටියේ රැඳී සිටීමට නොහැකිවීම නිසා ඉතිරි කඩුලු 5 ම ලකුණු 31 කදී දවා ලීමට බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ.
පන්දු යැවීමේදී කැපී පෙුනණු අල් ෆහාඩ් පන්දුවාර 9.5 කදී නිලකුණු පන්දු වාරයක් සමඟින් ලකුණු 44 කට කඩුලු 6 ක් දවා ගත්තේය. ඔහු හැරුණු කොට ඉක්බාල් හෝසේන් එමෝන් ලකුනු 37 කට කඩුලු 2 ක් දවා ගත්තේය. තරගයේ වීරයා ලෙසින් ශතක ලාබී සවාඩ් අබ්රාර් සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 211 යි – (චාමික හීනටිගල 51, දිමන්ත මහවිතාන 39, දිනුර දම්සිත් 47, කිත්ම විදානපතිරණ 10, දුල්නිත් සිගේරා 23, අල් ෆහාද් 44/6, ඉක්බාල් හොසේන් 37/2)
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 34.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 215 යි – (සවාද් අබ්රාර් 130*, අසිසුල් හකීම් 69*, කුගදාස් මාතුලන් 45/1)