slc
logo
Home   |    News
මැයි 11, 2025
තුන්කොන් ශූරතාව ඉන්දීය කාන්තාවෝ රැගෙන යති

sinhala editor

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 97 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය ක්‍රීඩිකාව එම ශූරතා කුසලාන දිනා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නියන් හමුවේ පන්දුවාර 48.2 ක් අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 245 ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසීරුතාවයේ හෙළූ ස්නේ රානා ලකුණු 38 කට කඩුලු 4 ක් ද අමන්ජෝත් කෝර් ලකුණු 54 කට කඩුලු 3 ක්ද දවා ලමින් ඉන්දියාවේ ජයග්‍රහණය පහසු කළහ. මෙම කඩුලු 4 ත් සමග සමස්ථ තරගාවලියේ කඩුලු 15 ක් බිඳ හෙළීමට සමත් ස්නේ රාණා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරා ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියාය. එතැන් පටන් විශ්මි ගුණරත්නට එක් වුණු චමරි අතපත්තු කණ්ඩායම ගොඩ ගනු ලැබුවේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක් එක් කරමිනි. මුලු ලකුණු සංඛ්‍යාව 121 ක් ව තිබියදී අතපත්තු දැවී ගියේ ස්නේ රානාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. දැවී යන විටත් නායිකාව පන්දු 66 කදී ලකුණු 51 ක් රැස් කරගෙන සිටියේ මෙම තරගාවලියේ දෙවැනි අර්ධ ශතකයටද හිමිකම් කියමිනි.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිතාකාරිණියන් අතරින් ආරම්භක පිතිකාරිණිය වූ ස්මිත්‍රී මන්දනා අද දිනයේදී සිය 11 වැනි එක්දින ශතකය වාර්තා කර ගත්තාය. එම සුපිරි ඉනිමත් ඉදිරි පෙළ පිතිකාරිණියන් 6 දෙනාගෙන් සිව් දෙනෙකුම අවම වශයෙන් ලකුණු 30 ට වැඩියෙන් රැස් කිරීමට සමත්වීම නිසාත් ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට ඉන්දීය පිලට අවස්ථාව උදාවිය. මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය කාන්තා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර ඔවුන් රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ මෙම තරගාවලියේදීම මැයි 04 වැනිදා පැවැති තරගයේදී කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුණු 275 ක ලකුණු සංඛ්‍යාවයි.

ඉන්දීය ඉනිමේ ආරම්භය තරමක් මන්දගාමී වුවත් තණතීරුවට හුරුවීමෙන් පසු ඔවුහු ප්‍රහාරාත්මක පිතිකරණ රටාව දියත් කළහ. ඉන්දීය පිතිකාරිනියන් හැකි සෑම වෙලාවකම ලකුණු කරා යෑම නිසා ශ්‍රී ලංකා පන්දු රකින්නියන්ට ඔවුන්ගේ කාර්යය සිදුකිරීමට තරමක් අපහසු වූ බව පැහැදිළිවම දැක ගත හැකි විය.

උඩ පන්දු ගිලිහීම් සහ දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථා අහිමිකර ගැනීම් පන්දු රැකීමේදී සිදුවූ අඩුපාඩු විය. ඒ අතරින් ලකුණු 21 ක් ලබා සිටියදී පියුමි වත්සලා අතට ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමෙන් ඇතිවූ වාසියෙන් උපරිම ප්‍රයෝජනය ගත් ශතක ලාභීණී මන්දනා පන්දු 101 කදී ලකුණු 116 ක් ලබා ගැනීමට සමත්වූවාය. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට අත දිග හැර පන්දුවට පහර  දුන් මන්දනා නායිකා චමරිගේ පන්දු හමුවේ පිට පිට හතරේ පහර 4 ක් එල්ල කරමින් ශතකය පසුකර යෑම විශේෂත්වයක් විය.

ඇය අද දිනයේදී එල්ල කරන ලද හතරේ පහර 15ට අමතරව එල්ල කරන ලද හයේ පහර 2 නිසා ඉන්දීය පිතිකාරිණියන් අතරින් වැඩිම හයේ පහර එල්ල කරන ලද පිතිකාරිණියේ වාර්තාවට හිමිකම් කීවාය. මේ වන විටත් ඇය හයේ 54 ක් එල්ල කර සිටින අතර ඇයට පහලින් නායිකා හර්මන්ප්‍රිට් කෝර් (53) පසුවෙයි.

ඉනිමේ මැද පන්දුවාර වලදී ඉන්දියානු පිතිකාරිණියන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අපොහොසත්වීම නිසා ඔවුන්ට විශාල නිමාවක් ලබා ගැනීමට ඉඩ සැලසුණු කරුණක් විය. ඉනිමේ අවසන් පන්දුවාර කීපයේදීද ඉන්දීය මැද පෙළ සහ පසුපෙළට තර්ජනාත්මකව පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අපොහොසත්වීම නිසා අවසන් පන්දුවාර 10 න්ද ඔවුහු ලකුණු 90 ක් උදුරා ගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මල්කි මදරා, දෙව්මි විහංගා සහ සුගන්ධිකා කුමාරි කඩුලු 2 බැගින් දවා ගත්තද ඔවුන් සියල්ලටම පන්දුවාරයකට ලකුණු 6 සීමාව ආසන්නයට සහ ඊට වැඩියෙන් ලකුණු රැස් කිරීමට ඉන්දීය පිතිකාරිණියෝ සමත්වූහ.

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 50 දී කඩුලු 7 ක් දැවී ලකුණු 342 යි – (ස්මිත්‍රී මන්දනා 116, ප්‍රතිකා රාවල් 30, හර්ලීන් ඩියෝල් 47, හර්මන්ප්‍රිට් කෝර් 41, ජෙමීමා රොඩිග්‍රස් 44, රීචා ඝෝෂ් 04, අමන්ජෝට් කෝර් 18, දීප්ති ෂර්මා 20*, සුගන්ධිකා කුමාරි 59/2, දෙව්මි විහංගා 69/2, මල්කි මදාරා 74/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 245 යි – (චමරි අතපත්තු 51, විශ්මි ගුණරත්න 36, නිලක්ෂි ද සිල්වා 48, හර්ෂිතා සමරවික්‍රම 26, අනුෂ්කා සංජීවනී 28, සුගන්ධිකා කුමාරි 27, ස්නේ රානා 38/4, අමන්ජොට් කෝර් 54/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee