ඉලක්කය ලකුණු 200 කට අඩු වුවද අධිෂ්ඨානශීලී පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ අද (05 දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වුවත්, තරග 6 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 3-2 ක් ලෙස තවමත් පෙරමුණ ගෙන සිටින්නේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද දිනයේදී රැස් කරගත හැකි වූයේ පන්දුවාර 42.3 කදී ලකුණු 196 ක් පමණි. ඉලක්කය කුඩා වුවත් සටන අත්නොහළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 169 කට සීමා කළහ. ඔවුන්ගේ අවසන් කඩුලු 4 ම ලකුණු 16 ක් ඇතුළත බිද දැමීමට කවීජ ගමගේ සහ කුගදාස් මාතුලන් සමත්වූහ.
බංග්ලාදේශ යොවුන් ඉනිම ආරම්භයේ සිටම දැඩි පීඩනයක් ගෙන දුන් ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ පළමු පන්දුවාර 16 ඇතුළතදී ලකුණු 51 කට කඩුලු 4 ක් දවා ලමින් සංචාරකයින් පීඩනයට ඇද දැමූහ. පත්වූ අසීරුතාව නිසාම තරගයේ 30 වැනි පන්දුවාරය වන විටත් බංග්ලාදේශ පිල කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 99 ක් පමණි. ශ්‍රී ලංකා යොවුන් පිල ඉදිරියෙන් තරගයේ ජය සනිටුහන් වන විට මාතුලන් සහ විරාන් චමුදිතගේ නම ඉදිරියෙන් කඩුලු 3 බැගින්ද තරූෂ නවෝද්‍යෙග් නම ඉදිරියෙන් කඩුලු 2 සටහන්ව තිබිණ.
කෙසේ වෙතත් අවසන් පන්දුවාර 20 ඇතුළතදී සංචාරක කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක් අවශ්‍ය වූ අතර ෆරීඩ් හසන් සහ සමිඋන් බෂීර් එක්ව ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 156 දක්වා ඉහළට රැගෙන ගියහ. එහෙත් තුන් ඉරියව් ක්‍රීඩක කවීජ ගමගේ විසින් බෂීර්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට නතු වන්නට විය. එතැන් පටන් බංග්ලාදේශ ඉනිම නිමා වීමට වැය වූයේ පන්දු 15 ක් පමණි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ගත්තද ඉදිරිපෛළ පිතිකරුවන් සැලකිය යුතු දක්ෂතා දැක්වීමට නොහැකි විය. ඉනිමේ අවසන් කඩුල්ලට ඇඩම් හිල්මි හා එක් වුණු කුගදාස් මාතුලන් අවසන් කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 32 ක නොවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාවට ආසන්න වීමට නොහැකිවනු ඇත. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඇඩම් හිල්මා ලකුණු 51 ක් සහ නායක විමත් දින්සර පමණක් ලකුණු 42 ක් රැස් කරගනිමින් පිත්තෙන් යම්තාක් දුරට සාර්ථක වූහ.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 42.3 කදී සියලු දෙනා දැවී ලකුණු 196 යි – (විමත් දින්සර 42, ආදම් හිල්මි 51, කුගදාස් මාතුලන් 21*, කිත්ම විදානපතිරණ 28, විරාන් චමුදිත 14, සුහස් ප්‍රනාන්දු 28, සමුයින් බෂීර් 35/3, සාද් ඉස්ලාම් 29/2, රිසාන් හොසන් 30/2, ෆර්හාන් ශරියර් 05/2)
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 169 යි – (සමුයින් බෂීර් 37, ෆරිඩ් හසන් 30, දෙබසිෂ් දෙබා 24, එම්ඩ්. අබ්දුල්ලා 32, රිසාන් හොසන් 25, කුගදාස් මාතුලන් 26/3, විරාන් චමුදිත 26/3, තරූෂ නවෝද්‍ය 30/2, කවීජ ගමගේ 03/1)