සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට පෙර වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට නිමාවට පත් වුණු තුන්කොන් තරගාවලිය උපකාරී වූ බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා, ලෝක කුසලාන තරගාවලියට පෙර ඒ සියල්ල සකස් කර ගත යුතු බව සඳහන් කර සිටියේය.
ඉන්දියාව සමග ඊයේ (11 දා) පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වඩා පන්දු රැකීම, පන්දු යැවීම සහ පන්දුවට පහර දීම යන තෙඅංශයෙන්ම ඉන්දීය ක්‍රීඩිකාවන් ඉදිරියෙන් සිටි බව සඳහන් කර සිටි රත්නායක මහතා, ලෝක කුසලාන තරගාවලියට පෙර ඒ සියලු අඩුපාඩු මඟහරවා ගත යුතු බව සදහන් කර සිටියේය.
අදාළ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහිව ලකුණු 97 ක ජයක් වාර්තා කළ ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවෝ සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ශූරතාව ඉන්දියාවට රැගෙන ගියහ. මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ රැදී සිටියේය. ඔවුන් තරග වැදුණේ ඔවුනට ඉදිරියෙන් හෙවත් එම ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාවත්, සිව්වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමග වේ. මූලික වටය යටතේදී මෙම කණ්ඩායම් දෙකටම එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග ජයග්‍රහණය කිරීමට සමත් වුවත්, අනතුරුව පැවැති දෙකම පරාජයට පත්වූවේය.
“අප සමග තරගා වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී අංක තුනට (03) සහ අංක පහට (05) ශ්‍රේණිගතව සිටින ප්‍රධාන කණ්ඩායම් දෙකක් බව අප දන්නවා. මේ කණ්ඩායම් දෙක (02) සමග අප තරග 2ක් ජය ගත්තා. අවසාන තරග 2ක් පරාජය වුවා. පරාජය වුවත් අවසාන තරගයට සුදුසුකම් ලැබීම ගැන අපට සතුටුයි. එහිදී උඩපන්දු දෙකක් (02ක්) අතහැරීම, දුවද්දී දවා ගැනීමට තිබු අවස්ථා මගහැරීයාම අපට සිදු වු බලවත් පාඩුවක්. ඔවුන් රැස් කළ ලකුණු තුන්සිය හතළිස් දෙකක (342) ඉලක්කය විශාල අභියෝගයක්. එවැන්නක් කරා යාම පහසු නැහැ. ඉන්දීය ඉනිමේ පළමු ඕවරයේ දී දුන් උඩපන්දුව රැක ගත්තා නම් ඔවුන් මෙතරම් දුර යැයි කියා මා සිතන්නේ නැහැ“ යැයි රත්නායක මහතා තරගයෙන් අනතුරුව පැවැසීය.
“මේ ඉලක්කය හඹා යන කොට අපගේ පිතිකාරිණියන් අධිෂ්ඨානයෙන් සිටීම ගැන සතුටුයි. අපගේ ක්‍රීඩිකාවන් වගකීම් බාර ගැනීමට හුරුවීම ප්‍රධාන අවශ්‍යතාවක්. අප ධනාත්මකව වගේම ඍනාත්මකව සිතීමටත් පුරුදු විය යුතු වගේම අප ලොව කොතැනක ක්‍රීඩා කළත් පන්දු තුන්සීයේ දී (300) ලබා ගැනීම අවශ්‍යමයි“.
“ලෝක කුසලානයක් අත ළඟ තිබිය දී ප්‍රබල විදේශ කණ්ඩායම් සමග තරග කර පුහුණුව ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මෙහි ගෙන්වා දීම පිළිබඳව අප ක්‍රිකට් ආයතනයට ස්තුති කරනව“ යැයි සඳහන් කර සිටි ප්‍රධාන පුහුණුකරු, වැඩිදුරටත් අදහස් දක්වමින් “ඉන්දියාව සමග පැවැති අවසාන තරගයේ දී දකුණත් තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන කවීෂා දිල්හාරිගේ සේවය අසනීප මත අපට නොලැබීම විශාල පාඩුවක් වුවා. අපගේ පැරැණි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමුගන්නා විට ඊට සුදුසු ආදේශ සඳහා ද අප සූදානම්ව සිටීම අත්‍යවශ්‍යයි“ යැයිද සදහන් කර සිටියේය.
මේ අවස්ථාවේ දී අපගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ මීළඟ ලෝක කුසලාන තරගාවලියට හොඳින්ම සූදානම් වී දක්ෂතා පෙන්වා මව්බිමට ගෞරවයක් ගෙන ඒම යැයි“ ද ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක කීවේය.