slc
logo
Home   |    News
මැයි 10, 2025
අවසන් මහ තරගයේදී අපිට ඉන්දියාව පරාජය කරන්න පුලුවන් – චමරි

sinhala editor

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමත් ශූරතා කුසලාන දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සහාය දැක්වීම සඳහාත් මෙම තරගයද නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.

දෙරට අතර එක්දින තරග ඉතිහාසය ගෙන බැලූ විට නම් ශ්‍රී ලංකාවට එතරම් සුභදායක නොවන තත්ත්වයක් බව නම් කිව යුතුය. ඒ මන්ද යත් දෙරට මෙතෙක් මුණ ගැසී තිබෙන එක්දින තරග අවස්ථා 33 දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියානු පිල පරාජයට පත් කර ඇත්තේ අවස්ථා තුනකදී පමණකි.

එහෙත් මෙම තරගාවලියේදී ක්‍රීඩා කළ ආකාරයට නම් දෙපිළම කරට කර තත්ත්වයක පසුවන තත්ත්වයකි. ඒ මන්ද යත් මූලික වටය යටතේ දෙපිළ මුණ ගැසුණු අවස්ථා දෙකේදී කණ්ඩායම් දෙකම එක් වතාව බැගින් ජය ගැනීමට සමත්ව ඇති බැවිනි. දෙපිළේම ක්‍රීඩිකාවන් ඉතාමත් හොඳින් දක්ෂතා අතර පසුවීම හෙට තරගයේදී උද්වේගකාරීත්වයක් දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු නොඅමනු මානය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හෙට පැවැත්වෙන අවසන් මහ තරගය විශේෂත්වයක් ගෙන දෙන්නේ 2009 වසරෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක්, කණ්ඩායම් 3 ක් හෝ ඊට වැඩියෙන් සහභාගිවුණු තරගාවලිවලදී පළමු වතාවට අවසන් මහ තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ලෙසින් හෙට තරගය ඉතිහාස ගත වන බැවිනි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේද ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් මහ තරගයේදී පහසු ජයක් වාර්තා කරමිනි. එම තරගාවලි විස්සයි-20 තරගාවලියක් වුවත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමකට එරෙහිව ලද එම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආත්ම විශ්වාසය වඩාත් ඉහළ තබා ගැනීමට හොද රුකුලකි. එම මතකයත් මෙම තරගාවලියේදී ඔවුන්ට එරෙහිව ලද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හෙට තරගයට හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගනිමින් අවතීර්ණවීමට හැකියාව නිතැතින්ම පවතිනු ඇත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දෙසින් සතුටට පත්විය හැකි තවත් ධනාත්මක කරුණු රැසක් වාර්තා වුණු තරගාවලියක් ලෙස හැඳින්විය හැක. චමරි අතපත්තු හැරුණු විට කණ්ඩායමට එක්ව සිටින ඉදිරි පෙළ මෙන්ම පසුපෙළ ක්‍රීඩිකාවන් බහුතරයක් වගකීම් ගනිමින් පන්දුවට පහර දීමට සමත්වීම  ඉන් ප්‍රධාන වනු ඇත. ගෙවී ගිය වසර කීපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය රැඳී තිබුණේ නායිකා චමරි අතපත්තුගේ පිතිකරණ හැකියාව මත බව නොරහසකි. එහෙත් ඇය මෙම තරගාවලියේ ගිය සිකුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු අතරට පැමිණීමට සමත් වූවා හැරෙන්නට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අවසන් මහ තරගය දක්වා වූ දුර පැමිණියේ සෙසු පිතිකාරිණියන්ගේ කැපී පෙනෙන පිතිහරඹ දක්ෂතාවය හේතු කොට ගෙනය. ඔවුන් මේ තරගාවලියේදී පෙන්වා දී ඇත්තේ චමරි අසාර්ථක වුවද තරග ජයග්‍රහණය කිරීම සඳහා වූ කාර්යයන් තමන්ට ඉට කළ හැකි බවයි. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් චමරි තම පිත්ත මුවහත් කරගෙන සිටීම නම් හෙට තරගයේදී ඉන්දියානු පිලට ඇති දැවැන්තම හිසරදය වනවාට නොඅනුමානය.

ඒ පිළිබඳව චමරිම කීවේ මෙලෙසිනි. “මේ තරගාවලියේදී ජයග්‍රහණය කරපු තරග දෙකේදී යොවුන් ක්‍රීඩිකාවෝ හොඳින් ක්‍රීඩා කළා. විශ්මි, හර්ෂිතා ගොඩක් හොඳට ක්‍රීඩා කළා. අපි එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් දුවන ටීම් එකක් නොවෙයි කියලා දැං ඔප්පු කරලා තියෙනවා. විශේෂයෙන් මීට කළින් මං ම ලොකු ඉනිංග්ස් ගහපු තරග තමයි දිනුවේ. නිලක්ෂි, අනුෂ්කා සංජීවනී, සුගන්ධිකා, හර්ෂිතාලා විශ්මිලා කවීෂලා දැන් පෙන්නලා තියෙනවා එයාලට මොනවද කරන්න පුලුවන් කියලා“ යනුවෙනි.

මූලික වටය යටතේ ශ්‍රී ලංකා පිල ඉන්දියානු  පිල පරාජය කරන ලද තරගයේදී චමරි රැස් කළේ ලකුණු 23 ක් පමණි. එම තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 276 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට සිදු වුවත් හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා වැනි ක්‍රීඩිකාවන් සිය අත් ඔසවා ඉන්දීය පිල නොසිතු පරාජයකට ඇද දැමූහ.

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් හෙට තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරිට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවීම නම් ශ්‍රී ලංකා පිලට දරා ගත නොහැකි පාඩුවක්වනු ඇත. “ඇය නැතිවීම ලොකු පාඩුවක්‘ යැයි පවසන ශ්‍රී ලංකා නායිකාව වැඩිදුරටත් ඒ පිළිබඳව මෙසේද පැවැසුවාය. “කවීෂා කියන්නේ අපේ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක්. එයා හැම තරයගයක්ම වගේ අන්තිම කාලේ ක්‍රීඩා කරපු ක්‍රීඩිකාවක්. බැටිං ද බොලිං ද ෆීල්ඩිංග් ද අංශ තුනෙන්ම බලපෑමක් වෙනවා ඇයගේ නැතිවීම. නමුත් අනිත් ක්‍රීඩිකාවන්ට හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා අත් උස්සලා තමන්ගේ වගකීම හරියට කරන්න“ යැයි චමරි අපවසන්නීය.

මෙහිදී අවසන් මහ තරගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායිකාව  “මං හිතනවා අපිට අපේ හොඳම දේ අවසන් මහ තරගයේදි දුන්නොත් අපිට හොඳ තරයක් දෙන්න පුලුවන් විතරක් නොවෙයි ඉන්දියාව පරාජයට පත් කරන්න පුලුවන් කියලා. මොකද අපි ඔවුන්ව මැත කාලයේදි පරාජයට පත් කරලා තියෙනවා. ඉතිං අපි බලන්න ඕන  හොඳම තරගය එදාට සෙල්ලම් කරන්න“ යනුවෙනි.

මේ අතර හෙට තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසද ශ්‍රී ලංකා නායිකාව ක්‍රීඩා ලෝලීන් වෙත ආරාධනා කර සිටියේ මෙලෙසිනි. “ඇත්තටම ගොඩ කාලෙකට පස්සේ පන්දුවාර 50 තරගාවලියක් ශ්‍රී ලංකාවේ සෙල්ලම් කරන්නේ ලංකාවේ. අපි මේ තරගාවලියෙද් හොඳට ක්‍රීඩා කළා. තරගය නරඹන්න එන්න. ඒ සඳහා ටිකට්ස් ඕන නෑ. ෆ්‍රී. මං හිතනවා ක්‍රීඩාංගණය පිරෙන්න සෙනග එයි කියලා අපි ක්‍රීඩා කරන අවසන් මහ තරගය නරඹන්න. තරගය ඉරිදා දවසක තියෙන නිසා හැමෝටම නිදහස් දවසක්. ඉතිං මං බලාපොරොත්තු වෙනවා විශාල පිරිසක් ඇවිල්ලා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්න ඔවුන්ගේ සහයෝගය දෙයි කියලා. ඉතිං මා ආරාධනා කරනවා අපේ ප්‍රේකෂකයින්ට ඇවිල්ලා අපේ කණ්ඩායමට ඔබේ ශක්තිය ධෛර්යය දෙන්න. මං ඔවුන්ට හදවතින්ම ආරාධනා කර සිටිනවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට ඇවිල්ලා අපේ කණ්ඩායමට ඔබේ ශක්තිය ධෛර්යය දෙන්න කියලා. අපිට නැවත අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව පරාජය කරන්න. ඉතිං ඒකට ඔයාලගේ සහයෝගය අපිට ඉතා වැදගත්. ඉතිං මම ආයිත් වතාවක් හැමෝටම ආරාධනා කරනවා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇවිල්ලා අපිට ශක්තියක් වෙන්න කියලා“ යනුවෙනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee