ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී තම ජීවිතයෙන් වැඩි කාලයක් කාන්තා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කැප කළ උදාර කාන්තාවක් වන්නේ නම් ඒ ග්වේන් හේරත් මහත්මිය වේ. ඇයගේ එම අමිල කැපවීම උදෙසාම ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් ග්වේන් හේරත් මහත්මිය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්රදානෝත්සවයකදී පිදුම් ලැබීම එය වඩාත් සනාථ කරන්නකි. ඇයට එම වටිනා ඵලකය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් පිරිනමන ලද්දේ රුපියල් ලක්ෂ 5ක මුදල් තෑග්ගක් ද සමඟිනි.
අනූව දශකයේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවට ලෝක කුසලාන ජයත් සමඟ අලුත් පරිච්ඡේදයක් එකතුවී මෙරට ඇති වූ ක්‍රිකට් පුනරුදයෙන් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ද වාසි ලැබීම ආරම්භ විය. ඒ වාසිය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට අත්කර දීමට කාලයක සිට දැඩි උත්සාහයක නිරතව සිටි දිරිය සම්පන්න කාන්තාවක් වූ ග්වේන් හේරත් මහත්මියට හැකියාව ලැබීම නිහතමානීව සිහිපත් කළ යුතුව ඇත.
එවක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘවරිය සහ සභාපතිනිය ද වූ ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන යමින් 1997 වසරේ නොවැම්බර් 25 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව කොළඹදී ශ්‍රී ලංකා කාන්තා පිලට එක්දින තරග වරම් ලබා දීමට පසුබිම සකස් කළාය.
හේරත් මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය පිහිටුවා ගෙන එවක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පිළිගැනීමක් ලබාගත් අතර, 1997දී කල්කටාවේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් සූදානම් කළාය.
2000 වසරේදී නවසීලන්තේ පැවැති ඊළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙද්දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක ක්‍රිකට් සමුළුවේ අවසරය හිමිවීමත් සමඟ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට මෙරට නීත්‍යානූකූල පදනමක් ඇති කර ගැනීමේ සිහිනය හේරත් මහත්මිය සැබෑකර ගත්තාය.
1996 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය ආරම්භ කළ ග්වේන් හේරත් මහත්මිය යටතේ 1997, 2000 සහ 2005 දී ලෝක කුසලාන තරඟාවලි තුනකට සහභාගීවීම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් සංධිස්ථාන වේ. ඇය කාන්තා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කාලයේ ලෝකයේ රටවල් 13න් හයවන ස්ථානයට පත්වීම ද සැලකිය යුතු දක්ෂතාවකි.
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් පරිපාලනයට ආදර්ශවත් සේවාවක් සිඳුකළ හේරත් මහත්මිය හිටපු ප්‍රබල ඇමැතිවරයෙකු වූ හැරල්ඩ් හේරත් මහතාගේ ප්‍රිය බිරිය වුවද ක්‍රීඩාවට දේශපාලනය ඈදෑ ගැනීමට තරයේ විරුද්ධවු කාන්තාවකි. පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට පත්වූ පළමු කාන්තාව වූ ඇය එම තනතුරේ වසර 15ක් කටයුතු කරමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය සදා අනුස්මරණය කළ යුතු උදාරතර මෙහෙවරකි.