සංචාරක බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන එස්එස්සී තණතිල්ල වෙනදාට වඩටා වෙනස් විදිහට හැසිරෙන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා ප්‍රකාශ කළේය. තමන් වසර 15කට ආසන්න කාලයක් එස්එස්සී තණතිල්ලේ ක්‍රීඩා කළත් මෙවැනි ආකාරයේ තත්ත්වයක් නොදුටු බවත්, මේ පිළිබඳ සියලු දෙනා පුදුමයට පත්වූ බවත් පැවැසීය. කණ්ඩම්බි මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේපළමු දිනයේ නිමාවත් සමඟ පැවැති මාධ්‍ය හමුවේදීය.
වේග පන්දු යවන්නන් දෙදෙනා ඉතා හොදින් පන්දු යැව්වා. එස්එස්සී තණතිල්ල තරමක් වෙනස් විදිහට හැසිරෙනවා. ඉපිලීමක් තියෙනවා. අසාමාන්‍ය තනතිල්ලක්. මොකද මම අවුරුදු 15 කට ආසන්න කාලයක් මෙහි ක්‍රීඩා කර තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳ අපි පුදුමයට පත් වුණා. ගාල්ලට වඩා මේක ගොඩක් වෙනස් තත්ත්වයක්. ගාලු තණතිල්ල පිතිකරණයට හිතකරයි, බංග්ලාදේශය දක්ෂ ලෙස ක්‍රීඩා කළා. නමුත් මෙහිදී, අපි ඔවුන්ව දවා ගන්නේ කොහොමද කියා සැලසුම් කළා, ඒ සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක වුණා. ඇත්තටම අපි වේග පන්දු යවන්නන් තුන්දෙනෙකු ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වුණේ. නමුත් තණතිල්ල දැක්කට පස්සේ එසේ නොකිරීමට තීරණය කළා. මට නම් එස්එස්සී තණතිල්ල අසාමාන්‍ය එකක්.
විශ්ව හොදින් පන්දු යැව්වා. ඔබ මොකද හිතන්නේ?
පිළිතුර: විශ්ව කැඳවන්න පළමු හේතුව ටිකක් වෙනස් කෝණයකින් ඔහු පන්දු යවන නිසා. ඒ හින්දා අපි තීරණය කළා කණ්ඩායමට ගේන්න ඕනේ කියලා. ඔහු අත්දැකීම් බහුල වේග පන්දු යවන්නෙක්. ඔහුට ලැබුණු අවස්ථාව ඔහු හොදින් ප්‍රයෝජනයට ගත්තා.
ප්‍රශ්නය: ලෙහෙසි නෑ වේග පන්දු යවන්නෙකුට ටෙස්ට් තරගයක පන්දු යැවීම. මොනවගේ සැලසුමක් ද තියෙන්නේ යෝග්‍යතාව රැකගෙන ටෙස්ට් තරග සැලසුමට එන්න?
පිළිතුර: මම හිතන්නේ කසුන් හා විශ්ව සුදු පන්දු ක්‍රීඩාවේදීත් හොදින් ක්‍රීඩා කරනවා. ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරයෙන් පසු මාස තුනක හොඳ විවේකයක් තිබුණා. ඔවුන් වෙහෙස මහන්සිවී පුහුණුවීම්වල යෙදෙනවා. අපේ පුහුණුකරුවන් ඔවුන් ගැන සොයා බලනවා.
ප්‍රශ්නය: පසුගිය වසර කිහිපයේදීම ටෙස්ට් ක්‍රිකට්වලට අසිත ප්‍රනාන්දු හොඳ අනුකූලතාවක් දක්වනවා. ඔබ දකින විශේෂත්වය මොකක්ද?
පිළිතුර: ඔහු දිනෙන් දින යමක් ඉගෙන ගන්න බව පේනවා. ඒක තමයි ප්‍රධානම දේ. ඒ වගේම එංගලන්ත ප්‍රාන්ත තරගවල ලැබූ අත්දැකීමත් වැදගත් වුණා. අපේ වේග පන්දු බළ ඇණිය ශක්තිමත් දැන්.
ප්‍රශ්නය: පළමු දිනයේ උදෑසන වේග පන්දු යවන්නන් කෙටි කාලයකට යොදා ගත්තේ. ඕවර් 4ක් 5ක් වගේ. කියන්න පුළුවන්ද හේතුව මොකක්ද කියලා?
පිළිතුර: අපි වේග පන්දු යවන්නන් දෙනෙකුගෙන් ක්‍රීඩා කරන්නේ. ඔවුන් පරිස්සමෙන් භාවිතා කළ යුතුයි. ඒක තමයි ප්‍රධාන හේතුව.
ප්‍රශ්නය: අපි දැක්කා මාධ්‍ය කුටිය අන්තයෙන් සොනාල් හා විශ්ව දිගටම පන්දු යැව්වේ. ඒකට යම් විශේෂ හේතුවක් තිබුණාද?
පිළිතුර: පන්දු යැවීමේ අන්තය පිළිබඳ කතා කළේ නෑ. නමුත් පන්දු යවන ‘ඈන්ගල්‘ එක පිළිබඳ අවධානය යොමු කරනවා. මොකද තණතිල්ලේ හොඳ සහයෝගයක් දෙන්නේ නැති වේලාවට පන්දු යවන ‘ඈන්ගල්‘ එක කඩුලු ලබා ගැනීමට වැදගත් නිසා.
ප්‍රශ්නය: අපේ ක්‍රීඩකයින් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගියා. මේක මොනවිදිහට බලපානවාද?
පිළිතුර: කිසිම වේලාවක උඩ පන්දු අත්හැරීම පිළිබඳ සමාවක් දෙන්න බෑ. මා හිතන්නේ හොඳ පන්දු රකින කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුව තියෙන්නේ. ඔවුන් මහන්සි වෙලා පුහුණු වෙනවා. දිනකට කලින් සම්පූර්ණ කණ්ඩායම හොදින් පන්දු රැකීම පුහුණු වුණා.
ප්‍රශ්නය: හෙට දවසේ ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙයි. මොනවගේ අභියෝගයක් එල්ල වෙයිද?
පිළිතුර: තරගය පැවැත්වෙන විදිහට තේරෙනවා අභියෝගයක් තියෙන බව. සාමාන්‍ය එස්එස්සී තණතිල්ල නොවෙයි. මේ වගේ තණතිලිවල ශතක හා ද්විත්ව ශතක ලබාගත් ක්‍රීඩකයෝ මගේ කණ්ඩායමේ ඉන්නවා. මා හිතන්නේ ඔවුන් අත උස්සලා පහර දෙයි කියලා. එහෙම වුණොත් අපේ පැත්තට තරගය එනවා.
ප්‍රශ්නය: ප්‍රභාත් ගාල්ලට වඩා හොඳින් පන්දු යැව්වා. අවාසනාවකට උඩ පන්දු කිහිපයක් අත්හැරුනා. මොකද හිතන්නේ ප්‍රභාත්ගේ පන්දු යැවීම පිළිබඳ?
පිළිතුර: ඔව් කණ්ඩායමට හරිම වැදගත් ඔහුගේ පන්දු යැවීම. මොකද ප්‍රභාත් කියන්නේ අපිට තරග දිනවපු හොඳම වමත් පන්දු යවන්නා. පිතිකරුවන්ට වගේම පන්දු යවන්නන්ටත් හොඳ නැති කාලයක් එනවා. අපි බලන්නේ ඔහුට උදව් කරලා විශ්වාසය දීලා ඔහුව නැවැත හිටිය තැනකට ගන්න. ඔහු හොඳින් පන්දු යැව්වාම අපේ කණ්ඩායම වෙනස් කණ්ඩායමක් වෙනවා. තරගයේ තවත් දින 4ක් තියෙනවා. මා හිතන්නේ ලොකු වෙනසක් ඔහු කරයි.
ප්‍රශ්නය: සොනාල් දිනූෂ අද ටෙස්ට් වරම් දිනා ගත්තා. ඔහු හොඳින් පන්දු යැව්වා. මේ වගේ ක්‍රීඩකයෙකු පිළිබඳ ඔබ දරන අදහස මොකක්ද?
පිළිතුර: පසුගිය වසරක කාලය පුරා ඔහු පිළිබඳ අපි සෙවිල්ලෙන් හිටියා. ක්‍රීඩා සමාජ තරගවලදී හා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ තරගවලදී ඔහු දක්ෂතා දැක්වූවා. ඔහු පන්දු රැකීමේදී හොඳ ජවයකින් ක්‍රීඩා කරනවා. එයාගේ තේරීමට හේතුව වුණේත් අෙක් පිතිකරුවන්ට උඩින් ඔහුගේ පන්දු රැකීම හා පන්දු යැවීම යන අංශ දෙකෙන් පරිනත බවක් පෙන්නුම් කරන නිසා. අපි ගාල්ලේදී දැක්කා හොඳින් පන්දු රකිනවා. ඒක හොඳයි අනික් ක්‍රීඩකයින්ටත් ඉදිරියට එන්න.