කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (25 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය ඇතුළතදී රැක ගත හැකි මට්ටමේ උඩ පන්දු ගිලිහී යෑම් මෙන්ම දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අහිමිව ගිය නමුත්, පළමු දිනට තරගය නිමා කරන විට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 8 ක් දවා ගැනීමට තරම් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්ව සිටියහ. වර්ෂාවෙන් බාධා පැමිණිණු දිනයක් ලෙසින් සටහන් වුණු පළමු දින අවසන බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 8 කට ලකුණු 220 ක් ලෙසිනි.
පිතිකරුවන්ට හිතකර තණතීරුවක් ලෙසින් එස්. එස්. සී. හඳුන්වනු ලබන එස්. එස්. සී. තණතීරුවේදී කාසියේ වාසිය තමන් සතු කර ගත් බංග්ලාදේශ නායක නජ්මුල් ෂොන්ටෝ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගත්තද දිවා විවේකයට පෙරම බංග්ලාදේශ ඉනිමේ කඩුලු 2 ක් දවා ලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
එසේ ලබාගත් සාර්ථක ආරම්භයත් සමග දිනය ක්‍රීඩා කළ සත්කාරක පිලේ වේග පන්දු යවන්නන් මෙන්ම දඟ පන්දු යවන්නන්ද සංචාරක පිලේ පිතිකරුවන්ට සමානව බලපෑම් එල්ල කළහ. එය කොතෙක් දුරට සාර්ථක වූවේද කිවහොත් ශ්‍රී ලංකා නායකයා අද දිනයේදී පන්දු යැවීම සඳහා උපයෝගී කරගත් පන්දු යවන්නන් 6 දෙනාගෙන් පස් දෙනෙකුම කඩුලු දවා ගැනීමට සමත්වූහ. ඉනිම ආරම්භයේදීම අසිත ප්‍රනාන්දු යැවූ සුපිරි පන්දුවකින් එනමුල් හක් කඩුල්ල අහිමි කර ගත්තේ පිත්තේ ඇතුළත දාරය වැදී කඩුල්ලේ වැදීමෙනි.
දිනය අවසන් වන විට බංග්ලාදේශ ඉනිම අගිස්සේ පිතිකරුවන් වූ ටයිජුල් ඉස්ලාම් (09) සහ එබදොත් හොසේන් (05) කඩුලු ආරක්ෂා කර ගෙන සිටිති. අද දිනයේදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ප.ව. 1.20 සිට 2.55 දක්වා වූ කාලය අතරතුර පැවැත්වීමට නොහැකි වූයෙන් ඉන් දිනයට පන්දුවාර 19 ක් අහිමි වූවේය.
තරමක් ඉපිලෙන ස්වභාවයකින් යුතු එස්. එස්. සී. තණතීරුව මතු පිටදී සාර්ථක ඵල නෙලාගත් අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා දැවී ගිය කඩුලු 8 න් 4 ක් සමව දවා ගනිද්දී මංගල ටෙස්ට් වරම් දිනාගත් සොනාල් දිනූෂ කඩුලු 2 ක් දවාගෙන සිටියේය. නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක ඉතිරි කඩුලු 2 හිමිකරුවන් වූහ. තණතීරුවේදී කඩුලු දවා ගැනීමට අපොහොසත්ව සිටින එකම ක්‍රීඩකයා වන්නේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය වන අතර එය තමන්ගේ ක්‍රීඩා සමාජ පිටියේදීම අපොහොසත්වීම දෛවෝපගත සිදුවීමකි.
පළමු ටෙස්ට තරගයට සහභාගිවීමට පෙර පළමු පෙළ කඩුලු 99 ක් දවාගෙන සිටි වමත් දඟ පන්දු යවන සොනාල් දිනූෂ ලිටන් දාස්ගේ කඩුල්ල දවා ගනිමින් පළමු පෙළ කඩුලු 100 සම්පූර්ණ කර ගත්තේය. දැවී යෑමට මත්තෙන් ලිටන් දාස් ලබා දුන් ජයසූරිය අතින් ගිලිහී ගියේය. ළහිරු උදාරගේ දුර්වල උඩ පන්දු රැකීමෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමට මුෂ්ෆිකර් රහීම්ට අවස්ථාව උදා වුවද, දාස්ගේ කඩුල්ල දවා ගැනීමෙන් නොනැවතුණු රහීම්ගේ කඩුල්ලද දවා ගත්තේ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුනු 160 කට කඩුලු 6 ක් ලෙස අසරණ කර දමමිනි. දිනය නිමා වන විට දිනූෂගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවර 9 කදී නිලකුණු පන්දුවාර 3 ක් ද සමඟින් ලකුණු 22 කට කඩුලු 2 ක් වශයෙනි.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
බංග්ලාදේශය පළමු ඉනිම පන්දුවාර 71 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 220 යි – (ශද්මන් ඉස්ලාම් 46, අනමුල් හක් 00, මොමිනුල් හක් 21, නජ්මුල් හොසනේ ෂොන්ටෝ 08, මුෂ්ෆිකර් රහීම් 35, ලිටන් දාස් 34, මෙහෙදි හසන් මිරාස් 31, නයීම් හසන් 25, තයිජුල් ඉස්ලාම් 09*, එබාදොත් හොසේන් 05*, අසිත ප්‍රනාන්දු 43/2, විශ්ව ප්‍රනාන්දු 35/2, සොනාල් දිනූෂ 22/2, ධනංජය ද සිල්වා 15/1, තරිඳු රත්නායක 63/1)