slc
logo
Home   |    News
ජූනි 22, 2025
රටට සේවය කළ ක්‍රීඩකයෙකුට ලැබෙන අගය කිරීම් ඇදහිය නොහැකියිඇන්ජලෝ මැතිව්ස්

sinhala editor

විශ්‍රාම යන බව ප්‍රකාශ කළ දා සිට, මේ දක්වා ලැබී ඇති ආදරය ගැන සිතාගත නොහැකි බව ටෙස්ට් පිටියෙන් සමුගත් ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය. ක්‍රීඩකයෙකු ලෙස තම සේවය රටට ලබා දුන් පසු, ලැබෙන අගය කිරීමේ ප්‍රමාණය ඇදහිය නොහැකි තරම් බව මැතිව්ස් සඳහන් කළේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ‍‍ටෙස්ට් තරගයේ  නිමාවත් සමඟ පැවැති මාධ්‍ය හමුවේදීය.

“මම විශ්‍රාම යන බව ප්‍රකාශ කළ දා සිට, මේ දක්වා ලැබී ඇති ආදරය ගැන මට සිතාගත නොහැකියි. ක්‍රීඩකයෙකු ලෙස සියයට 110ක් රටට ලබා දුන් පසු, ලැබෙන අගය කිරීමේ ප්‍රමාණය ඇදහිය නොහැකි තරම්. එය ඉතා විශේෂයි. ඒක තදින් දැනෙනවා. විශේෂ‍ෙන්ම 2008 ඉදලා ‍ප්‍රේක්ෂකයින් දැක්වූ සහයෝගය අගය කළ යුතුයි. විවිධ අභියෝග එල්ල වුණා. ඒවා ජය ගන්න මට හැම පැත්තකින්ම උදව් ලැබුණා. ගොඩක් ආබාධ ආවා. ඒවා සියල්ල ජය ගත්තා. තව මාස හයක් තියෙනවා. (2026) විස්සයි20 ලෝක කුසලානය සඳහා. මම මගේ උපරිමය ලබා දෙනවා. මගේ යෝග්‍යතාව කොහොමද කියලා බලන්න අවශ්‍යයි.

ලෝක කුසලාන ජයග්‍රහණයක් සමඟින් සමුගන්න මම කැමතියි“ මැතිව්ස් පැවැසීය.

ප්‍රශ්නය: නිමාවූ පළමු තරගය දින පහම ක්‍රීඩා කළා. අපිට වැරදුන තැනක් තිබුණාද?

පිළිතුර: මේ තරගයේදී බංග්ලාදේශ පිල හොදින් ක්‍රීඩා කළා. පළමු ඉනිමේ කඩුලු 3ක් අඩු ලකුණු ගණනකට දැවී‍ගොස් තිබියදී මුස්ෆිකර් හා සැන්‍ටෝ හොදින් ක්‍රීඩා කළා. පැතුම් ඉතාම අගනා ඉනිමක් ක්‍රීඩා කළා. ගාලු තණතිල්ලේ පන්දු යවන්නන්ට අසීරු කාර්යයක් කරන්න වුණේ. මේ නිසා ජයග්‍රහණය අපිට අසීරු වුණා.

ප්‍රශ්නය: පන්දු යවන්නන්ට වාසියක් නැති තණතිල්ලක තරගයේ රැදී ඉන්න මොනවගේ දේවල් ද කරන්න වුණේ?

පිළිතුර: අපිට හුගක් දේවල් කරන්න බෑ. මොකද ඒ අය පන්දුවට පහර දුන්න විදිහට. විකට් එකේ ස්භාවයත් එක්ක ලකුණු අඩු කරලා පන්දු යවන්න තමයි සැලස්ම. අපේ සැලස්ම වුණේ ඒ අය සම්බන්ධතා ‍ගොඩනගද්දී එක තැනකට පන්දුව යොමු කරලා ලකුණු අඩු‍වෙන් තියා ගන්න. ගාල්ල තණතිල්ලේ ගොඩක් වේලාවට සවස් වරුවේ පන්දුව කැපෙනවා. මුල් දින ‍දෙකේදී තණතිල්ල ගොඩක් ‍හොදයි.

ප්‍රශ්නය: සමුගැනීමේදී විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තියෙනවාද?

පිළිතුර: විශේෂයෙන් සියලු මාධ්‍යවේදීන්ට ස්තූතිකළ යුතුයි. ඔවුන්ගේ ධනාත්මක විවේචන මඟ පෙන්වීමක් වුණා. ක්‍රීඩකයෙකුගේ ගමනට ඒ ශක්තිය වැදගත්. ගාල්ල මට වි‍ශේෂ තැනක්. පළමු ‍ටෙස්ට් තරගය, සියවැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය ගාල්ලේදී සටහන් වුණා. සියලු හිටපු හා වත්මන් පුහුණුකරුවන්ට මගේ ස්තූතිය පුද කරනවා. මම ඇත්තටම අතිශයින් සතුටට පත් වෙනවා. ආරම්භයේ සිටම මට සහයෝගය දුන් අයට මම සදාකාලිකවම කෘතඥ වෙනවා. එය පහසු ගමනක් වුණේ නැහැ. නමුත් හැමදෙනාගේම සහයෝගය නිසා ඉදිරියට යන්න පුළුවන් වුණා.

ප්‍රශ්නය: ඔබ පන්දුවට පහරදෙද්දී මුෂ්ෆිකර් සමඟ වාදයක් ඇතිවුණා. මොකක්ද ඒ වෙලාවේ වුණේ?

පිළිතුර: මුෂ්ෆිකර් කෑ ගහලා කිව්වා මට ලොකු පහරවල් ගහන්න කියලා. මම කිව්වා, නෑ මුෂ්ෆිකර්, මම ඔයා එක්ක 19න් පහළ ඉඳන් සෙල්ලම් කරනවා, මම ඔයාව හොඳට දන්නවා. දැන් ලොකු පහරවල් ගහන්න වෙලාව නෙවෙයි. අපිට මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කරන්න ඕන. නමුත් බංග්ලාදේශය විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා.

ප්‍රශ්නය: සමුගැනීමෙන් පසුව ඔබේ වැඩ පිළීවෙල මොකක්ද?

පිළිතුර: ඉදිරියේදී දේශීය තරගාවලි රැසක් තියෙනවා. මම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා යෝග්‍යතාව හොදින් තියා ගන්න උත්සහ කරනවා. තවත් මාස 6කින් ලෝක කුසලානයක් එනවා. 

ප්‍රශ්නය: මේ සමුගන්නා අවස්ථාවේ ඔබට ආදරය කළ ක්‍රීඩා ලෝලීන්ට යමක් කියන්න සූදානම්ද?

පිළිතුර: මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මට ඒ ආදරය සහයෝගය දුන්නේ නැත්නම් ඇන්ජලෝ මැතිව්ස් කෙ‍නෙක් නෑ. අපි හැමෝම බලන්නේ රට වෙනුවෙන් සියයට 200ක් දෙන්න. මම හිතනවා ඒක කළා කියලා. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. මම ඔවුන්ට සුබ පතනවා.

ප්‍රශ්නය: අන්තිම ඉනිම බැට් කරන්න යද්දී මොනවගේ හැගීමක් ද තිබුණේ?

පිළිතුර: ලොකු පීඩනයක් තිබුණේ. මොකද අපි කතා වුණේ තරගය දිනන්න තියෙන අවස්ථා අඩුයි කියලා. අන්තිම ඕවර් 29කදී ලකුණු 280ක් විතර ගහන එක අමාරුයි. තේ පානයෙන් පසු අපේ සැලසුම තිබුණේ තරගය ජය පරාජයෙන් ‍තොරව නිමා කරන්නයි.

ප්‍රශ්නය: ඔබ විස්සයි20 තරග රටාව ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකක්ද රෝල් එක? තරුණ ක්‍රීඩකයින්ට කියන්න තියෙන්නේ මොකක්ද?

පිළිතුර: මම පටන් ගත්ත තැන ඉදලා මගේ රෝල් එක යම් යම් වෙනස් කිරීම් වෙලා තියනවා. අවස්ථා‍වේ හැටියට ක්‍රීඩා කිරීම තමයි නිතරම කළේ. නමුත් තේරීම් කමිටුවට අවශ්‍ය නම් ඉදිරි මාස හයේ උපරිම දක්ෂතා තියාගෙන ඉන්නවා. මම කැමැතියි ලෝක කුසලානයක් දිනා ගන්න. තරුණ අයට කියන්න ති‍යෙන්නේ කැපවීම වැදගත්. සියයට 200ක් දෙන්න කියන එක මතක් කරන්න කැමැතියි. තරග නැති වුණත් ඛෙත්තාරාම ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය සියලු පුහුණුකරුවන් ලොකු කාර්යභාරයක් කරනවා. තරගයකට අපිව ලෑස්ති කරන්නේ ඔවුන්. ඒ සියලු දෙනාට ස්තූති කළ යුතුයි.

ප්‍රශ්නය: තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර: කමිඳු, පැතුම්, පවන්, පසිඳු, දිනූෂ කියන ක්‍රීඩකයෝ ඉතාම හොද අනාගතයක් ඇති ක්‍රීඩකයින්. ඔවුන් රැකබලා ගෙන ඉදිරියට ගත යුතුයි. කුසල්, ධනංජය හා චන්දිමාල් වගේ ප්‍රවීණයින් ඉන්නවා. ඔවුන් දෙස් – විදෙස් සෑම තරගයකදීම දක්ෂතා දක්වමින් රට දිනවයි.

ප්‍රශ්නය: ඔබ සමුගැනීම සටහන් කරද්දී හැමෝම වගේ කිව්වේ තව ටිකක් සිටිය යුතුයි කියලා. ඔබ හිතුවේ මොකක්ද?

පිළිතුර: ගොඩක් ආදරයක් හිතුනා එහෙම කිව්වාම. නමුත් මම විශ්වාස කරන ‍දෙයක් තමයි හොඳට කරන වේලාවක තමයි සමුගැනීම සටහන් කළ යුත්තේ කියලා. එලවනකල් ඉන්න ඕනේ නෑ කියන මත‍ේ ඉන්නවා. මම තාම ෆිට්. නමුත් මේක තමයි වේලාව නවක ක්‍රීඩකයින්ට තැන දීලා යන්න.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee