slc
logo
Home   |    News
ජූලි 2, 2025
වාර්තා සම කරන ලද චරිත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

තමන් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් දිනයේදීම (ජූලි 02) ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් අතර දෙවැන්නා බවට පත්වීමට වනිඳු හසරංග සමත්වීමත්, ලොව අග්‍රගණයේ පිතිකරුවන් ලෙසින් සැලකෙන සන්ත ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර් සහ විරාත් කෝලි විසින් වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කර ගනිමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තබා තිබූ වාර්තාව සම කිරීමට චරිත් අසලංක සමත්වීම ආදී විශේෂ කඩඉම් කීපයක්ම වාර්තා වුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (02 දා) රාත්‍රියේ සමත්වූවේය. මේ සමගම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම මුළුමනින්ම අඩපණ කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 36 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී සම්පූර්ණ ඉනිමම ලකුණු 167 කදී අහවර කර දැමූහ.

මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් දැවී ගිය බංග්ලාදේශ කඩුලු 10 න් කඩුලු 7 ක් දවා ගත්හ. දිනයේ යවන ලද පළමු පන්දුවාරයේදීම ලිටන් දාස්ව කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකරගත් වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකින් කඩුලු 100 ක් දවාලූ දෙවැනි පන්දු යවන්නා බවට පත්වූවේය. වනිඳු හසරංග මෙම දක්ෂතාව දක්වන ලද්දේ ඔහු ක්‍රීඩා කරන ලද 64 වැනි තරගයේදී වන අතර ඔහුට පෙර අජන්ත මෙන්ඩිස් තරග 63 කදී එම දක්ෂතාව දක්වමින් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේය. බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ලද දවාගත් වනිඳු හසරංග තම පන්දු යැවීම සටහන් කරගත්තේ පන්දුවාර 7.5 කදී නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින් ලකුණු 10 කට කඩුලු 4 ක් වශයෙනි.

බංග්ලාදේශ ඉදිරි පෙළපිතිකරුවන් වූ පර්වේස් හොසේන් (13), ටන්සිඩ් හසන් (62) සහ නජ්මුල් ෂැන්ටෝ (23) තිදෙනා ඉතා හොඳ ආරම්භයක් ලබා ගත් නමුත් සියල්ල ශ්‍රී ලංකාවේ වාසියට කරකැවෙන්නට පටන් ගත්තේ නජ්මුල් හොසේන් ෂැන්ටෝ දුවද්දී දැවී යෑමත් සමඟය. මුලු ලකුණු සංඛ්‍යාව 100 ක්ව තිබියදී මිලාන් රත්නායක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව ෂැන්ටෝව දුවද්දී දවා ගැනීමකට හසු කර ගත්තේය. එතැන් සිට සිය ආක්‍රමණශීලී පන්දු යැවීමට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 05 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගත්තේ බංග්ලාදේශ පිතිකරුවන්ට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි ජේකර් අලී පන්දු 64 කදි ලකුණු 51 ක් ලබා ගත්තා හැරුණු කොට සමස්ථ ඉනිමේම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉහළින්ම වැජඹුණහ.

ප්‍රතිවාදීන් හමුවේ දැවැන්ත ඉලක්කයක් ලබා දීම බලාපොරොත්තුව වුවත්, නායක චරිත් අසලංකට අවශ්‍ය සේවය ලබා දීමට සෙසු බහුතරයක් පිතිකරුවන් අසමත්වීම නිසා පන්දුවාර 49 කුත් පන්දු 2 ක් අවසනදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 244 ක් පමණි. එහිදී තනි සටනක නියැළුණු චරිත් අසලංක අද දිනයේදී සිය එක්දින තරග දිවියේ පස්වැනි ශතකය වාර්තා කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැම්මේය.

ලකුණු 29 කට කඩුලු 3 ක් දැවී ගොස් තිබියදී කුසල් මෙන්ඩිස්ට එක් වුණු චරිත් අසලංක පළමුව වැටී තිබුණු ඉනිම ගොඩ ගත්තේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් එකතු කර ගනිමිනි. එහෙත් ටන්වීර් ඉස්ලාම්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව කුසල් මෙන්ඩිස් ලකුණු 45 කදී දැවී යෑම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් විය. ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද ඉතාමත් විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දුන් මෙන්ඩිස් දැවී යන විටත් පන්දු 43 කට මුහුණ දී ඉන් එකක් හයේ සීමාවට එපිටින්ද 6 ක් හතරේ සීමාව පසුකරමින් යැවීමට සැලැස්වූවේය.

මාස 3 ක කාලයකින් පසු එක්දින තරග පිටියට අවතීර්ණ වුණු බංග්ලාදේශ පිලේ වේග පන්දු යවන ටස්කින් අහමඩ්, සහ ඔහුගේ සහායක වේග පන්දු යවන්නා වූ ටන්සිම් හසන් සකීබ් ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 7 ක්ම දවා ගත්තේය. ඒ අතරින් කඩුලු 4 ක් දවා ගත් ටස්කින් කැපී පෙනුණේය.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ චරිත් අසලංක අවසන් පන්දුවාරයේදී දැවී යන විට පන්දු 123 කට මුහුණ දී ලකුණු 106 ක් රැස් කරගෙන සිටියේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හ හතරේ පහර 6 කින් සරසා ගනිමිනි. අද දිනයේදී චරිත් රැස් කර ගන්නා ලද්දේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔහු රැස් කරන ලද සිව්වැනි ශතකය වූ අතර එය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු වාර්තා කරන ලද වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව සම කරවන්නක් වූවේය. ඒ අනුව චරිත් අද දිනයේදී සම කරන ලද්දේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයන් බවට පත්ව සිටින සනත් ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර් සහ විරාත් කෝලි විසින් රැස් කර තිබෙන ශතක 4 වාර්තාව විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර නිශාන් මදුෂ්ක ලකුණ 06 කට දැවී ගියේය. කෙසේ වෙතත් මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු පස්වැනි කඩුල්ල වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 64 ක්, 6 වැනි කඩුල්ල වෙනුවෙන් මංගල තරගයට ක්‍රීඩා කරන ලද මිලාන් රත්නායක ලලකුණු 49 ක් සහ 7 වැනි කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 34 ක සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට දායකත්වය දැක්වූහ.

අද දිනයේදී වනිඳු හසරංග ලකුණු 22 කට දැවී ගිය අතර ඔහු තවත් ලකුනු 03 ක් ලබා ගත්තේ නම් එකම තරගයේදී කඩුලු 100 ට අමතරව ලකුණු 1000 සම්පූර්ණ කරගත් ක්‍රීඩකයින්ගේ විරළ වාර්තාවට හිමිකම් කීමට අවස්ථාව තිබුණේය. 2017 වසරේ ජූලි මස 02 වැනිදා සිය මංගල ජාත්‍යන්තර තරගයට සහභාගිවූ තුන් ඉරියව් ක්‍රීඩකයා ඊට වසර 8 ක් සම්පූර්ණ වෙන අද දිනයේ (ජූලි 02 වැනිදා) තවත් ලකුනු 03 ක් ලබා ගැනීමට සමත් වූයේ නම් එය යථාර්ථවම දෛවෝපගත අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 244 යි – (චරිත් අසලංක 106, කුසල් මෙන්ඩිස් 45, ජනිත් ලියනගේ 29, මිලාන් රත්නායක 22, පැතුම් නිස්සංක 00, නිශාන් මදුෂ්ක 06, කමිඳු මෙන්ඩිස් 00, වනිඳු හසරංග 22, මහීෂ් තීක්ෂණ 01, එෂාන් මාලිංග 04, අසිත ප්‍රනාන්දු 01*, ටස්කින් අහමඩ් 47/4, ටන්සිම් හසන් සකීබ් 45/3, ටන්වී ඉස්ලාම් 44/1, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 32/1)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee