slc
logo
Home   |    News
ජූලි 1, 2025
සංශෝධිත නීති සමග ශ්‍රී ලංකා – බංගලි එක්දින ගැටුම හෙට ඇරඹෙයි

sinhala editor

ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමෙන් අනතුරුව දෙපිළ අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදුවනු ඇත.  නව ආලෝක පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේද හෙට ප.ව. 2.30 ට ආරම්භ වන මෙම තරගය වේ.

කණ්ඩායම තුළ මෙතෙක් ගොඩ නඟා ගෙන සිටින ශක්තීන්වලට ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් අනුගත වන පසුබිමක බංග්ලාදේශය, නායකත්වයේ සිටම කණ්ඩායම තුළ ඇතිවී තිබෙන විශාල හිඩැස් පිරවීම, පිළිබඳව හෙටින් ආරම්භ වන තරගාවලියේ සිට සැලසුම් කරනු ඇත. දෙරට අතර එක්දින තරග ඉතිහාසය 1985 වසර දක්වා ඈතට විහිද ගියත් බංග්ලාදේශ කණ්ඩායමක් මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා නොමැතිවීමද විශේෂත්වයක් වේ.

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තුළ වඩාත් විශ්වාසදායක තත්ත්වයක් ගොඩ නැගී තිබෙන බව අවසන් වතාවට ඔවුන් ක්‍රීඩා කරන ලද තරග වලදී දැකගත හැකි විය. එහි අතිරේක වාසියක් බවට පත්ව ඇත්තේ අතිරේක ක්‍රීඩකයින්ට වෙන්වී තිබෙන බංකුවද මේ වන විටත් ශක්තිමත් වී තිබීම වේ.

දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ බංග්ලදේශ කණ්ඩායමේ ශක්තීන් බවට පත්ව සිටි මුෂ්ෆිකර් රහීම් මෙන්ම මහමුදුල්ලා එක්දින තරග පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන් ක්‍රීඩා කරනු ලබන පළමු තරගාවලිය වන්නේ හෙටින් ආරම්භ වන එක්දින තරගාවලිය වේ. එමෙන්ම හිටපු නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු නව නායකත්වයට පත් තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් මිරාස් බංග්ලාදේශ පිල මෙහෙයවනු ලබන පළමු අවස්ථාව වන්නේද හෙට පැවැත්වෙන තරගය වේ.

එක්දින ජාත්‍යන්තර වල මෙතෙක් කලක් ඉනිම පුරාම පන්දු 2 ක් භාවිතා කරමින් ක්‍රීඩා කරන ලද ක්‍රමවේදය සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කිරීමෙන් පසු ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයද එම අභියෝගයට මුහුණ දෙනු ලබන පළමු තරගය වන්නේ ද හෙටින් ආරම්භ වන තරගාවලිය වේ. මීට පෙර නීතිය සංශෝධනය කරමින් පළමු පන්දුවාර 34 තෙක් භාවිතා කරනු ලබන පන්දු 2 වෙනුවට 35 වැනි පන්දුවාරයේ සිට 50 වැනි පන්දුවාරය දක්වා කාල සීමාවේදී කණ්ඩායමකට භාවිතා කිරීමට සිදුවන්නේ එක් පන්දුවක් පමණි. එම පන්දුව කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේද පන්දු යවන කණ්ඩායමෙන් වේ.

“ඒ නීතියට අපිත් තවම අලුත්. අපිත් තාම සැලසුම් හදා ගනිමින් යන්නේ මොකද්ද කරන්න ඕන, මොකද්ද වෙන්න ඕන කියන එක. මං හිතන්නේ වේග පන්දු යවන්නන්ට යම් කිසි වාසියක් ලබා දෙන්න තමයි පන්දු ඕවර  34 කින් පස්සේ එක පන්දුවක් භාවිතා කරන නීතිය ගේන්න ඇත්තේ. සමහර වෙලාවට අපිට කියන්න බැහැ අපි ක්‍රීඩකයින් වශයෙන් තරගයේදී පන්දු දෙක දෙවිදියකට හදාගන්න සිද්ධ වෙනවා අපිට. ඊට පස්සේ පන්දුවාර 34 ක් අවසානයේදී අපි තමයි තීරණය කරන්නේ මොන බෝලයෙන්ද යන්නේ කියලා. ඒක අපිට අලුත්. නමුත් බලාපොරොත්තු වෙනවා පළවැනි තරගයේ ඉඳන්ම හරි සැලසුමකට යන්න“ යැයි නව සංශෝධිත නීතිය පිිළිබඳව සිදුකරන ලද විමසීමේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන ලද එක්දින තරගාවලි දෙස අවධානය යොමු කිරීමේදී ප්‍රබලම රටවල් වන ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත්ව සිටියි. සත්තාරකයින්ගේ යටගියාව එසේ සුභදායක තලයක පසුවද්දී බංග්ලාදේශ කණ්ඩායමට නම් ගෙවී ගිය මාස 18 ක පමණ කාලය එතරම් සුභ දායක නොවේ. 2024 වසර ආරම්භයේ සිට ඔවුන් මේ දක්වා එක්දින ජාත්‍යන්තර 11 කට සහභාගිවී ඇතත් ඉන් ජයගැනීමට සමත්ව සිටින්නේ තරග 3 ක් පමණි.

එහිදී අවධානය යොමු කළ යුතු කරුණ බවට පත්වන්නේ ඔවුන් ජය ගෙන තිබෙන තරග 3 න් 2 ක්ම ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගැනීමට සමත්වීමයි. එය හෙටින් ආරම්භවන තරගාවලියේදී බංග්ලාදේශයට ධනාත්මක සිතුවිල්ලක් එකතු කරන්නක් වනු නොඅනුමානය. එම දෙවැනි තරග ජයග්‍රහණය පිටුපස යෝධ සෙවනැල්ලක් වූයේ මැද පෙළින් පන්දුවට පහරදීමට පැමිණි රිෂාඩ් හොසේන් පන්දු 18 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 48 ක ඉනිම වේ.  එම ඉනිම කලකට අමතක නොවන එකකි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ප්‍රධාන පිතිකරුවන් හය දෙනෙකු එක් තුන් ඉරියව් ක්‍රීඩකයකු සහ පන්දු යවන්නන් සිවුදෙනෙකු සමඟින් අවතීර්ණවීමට සූදානමින් සිටියි. එහිදී වඩාත්ම ගැඹුරින් අවධානය යොමු කරවන කරුණක් බවට පත්ව ඇත්තේ එසේ ක්‍රීඩා කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩකයා වේග පන්දු යවන්නෙක්ද නැතහොත් දඟ පන්දු යවන්නකුද යන්න තීරණය කිරීමයි.

“බලාපොරොත්තු වෙන්නේ කළින් වගේම තමයි පිතිකරුවන් හය දෙනෙයි, තුන් ඉරියව් ක්‍රීඩකයයි සහ පන්දු යවන්නන් හති දෙනෙක් එක්ක යන්න. ඒක සමහර විට වේග පන්දු යවන්නා තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ද දඟ පන්දු යවන්නා තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ද කියන එක වෙනස් වෙයි. නමුත් අර සංයුතියට යන්න තමයි අපේ බලාපොරොත්තුව“ යැයි ශ්‍රී ලංකා එක්දින නායකයා සඳහන් කර සිටියේය.

බංග්ලාදේශ පිතිකරුවන් වේග පන්දු යවන්නන්ට මුහුණ දීමේදී දැඩි දුර්වලතාවයක් පෙන්නුම් කරන අතර එයම ශ්‍රී ලංකාව හෙට තරගයේදී ආයුධයක් කර ගැනීමට ඉඩ තිබේ. එසේ වුවහොත් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකට හෙට දිනයේදී එක්දින වරම් හිමිවනු ඇත.

ගෙවී ගිය වසර කීපයේදීම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පහළ ස්ථානයෙන්හි රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විටත් චරිත් අසලංකගේ නායකත්වය යටතේ එම ශ්‍රේණියෙහි සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. එහෙත් ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටින්නේ එය සෑහීමකට  පත්විය නොහැකි තත්ත්වයක් වන බවයි.

“ඇත්තටම කියනවා නම් සෑහීමකට පත් වෙන්න බෑ, මොකද කළින් කිව්වා වගේ අපේ සැලසුම වෙලා තිබුණේ රෑංකිවල ටොප් ත්‍රී එන්න. ඉතිං තාම ඉන්නේ ටොප් ෆෝ වල. එක ලැඩර් එකක් තියෙනවා ෆස්ට් ස්ටෙප් එක විදියට යන්න. ඊට පස්සේ තමයි බලන්නේ එතනින් උඩට කොහොමද යන්නේ කියලා. ඉතිං මං හිතන්නේ කණ්ඩායමක් විදියට අපි 100% ක් සෑහීමකට පත්වෙන්නේ නෑ. පසුගිය තරගවල දක්ෂතා ගැන අපි ගොඩක් විශ්වාස තියලා තියෙනවා. නමුත් තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා“ යැයි අසලංක සදහන් කර සිටියේය.

හෙට තරගය වනිඳු හසරංගට සුවිශේෂී තරගයක් බවට පත්ව තිබේ. වනිඳු හෙට දිනයේදී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම එක්දින තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවාලීමට සමත් දෙවැනි පන්දු යවන්නා මෙන්ම ශ්‍රී ලංකාවෙන් එවැනි දස්කම් දක්වන ලද 18 වැනි පන්දු යවන්නා බවට පත්වනු ඇත. මේ වන විටත් එක්දින තරග 63 කට සහභාගිව ඇති වනිඳුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය ලෙස 25.19 ක් සටහන් වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ අජන්ත මෙන්ඩිස් වන අතර ඔහු තරග 63 කදී එම දක්ෂතාවය දක්වා තිබේ. මීට අමතරව පිත්තෙන් ලකුණු 977 ක් ලබා සිටින වනිඳුට අද තරගයේදී තවත් ලකුණු 23 ක් රැස් කළහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගවලදී කඩුලු 100 ක් සහ ලකුණු 1000 ක් ලබා ගෙන තිබෙන ක්‍රීඩකයින් අතලොස්සට එකතු වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. අවිශ්ක ප්‍රනාන්දු/නිශාන් මදුෂ්ක, 3. කුසල් මෙන්ඩිස්, 4. කමිඳු මෙන්ඩිස්, 5. චරිත් අසලංක, 6. ජනිත් ලියනගේ, 7. මිලාන් රත්නායක/දුනිත් වෙල්ලාලගේ, 8. වනිඳු හසරංග, 9. මහීෂ් තීක්ෂණ, 10. අසිත ප්‍රනාන්දු, 11. එෂාන් මාලිංග.

බංග්ලාදේ කණ්ඩායම – 1. ටන්සිඩ් හසන්, 2. ලිටන් දාස්, 3. මොහොමඩ් නයීම්, 4. නජ්මුල් හොසේන් ෂැන්ටෝ, 5. ටව්හිඩ් රිඩෝයි, 6. මෙහෙදි හසන් මිරාස් (නායක), 7. ජේකර් අලී, 8. රිෂාඩ් හොසේන්, 9. ටස්කින් අහමඩ්, 10, මුස්ටෆිසූර් රෙහ්මාන්, 11. නහීඩ් රානා.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee