slc
logo
Home   |    News
ජූලි 31, 2025
අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ශූරතාවත් සී. සී. සී. ක්‍රීඩකයෝ දිනා ගනිති

sinhala editor

පවන් රත්නායකගේ අනගි භවනීය ලකුණු 158 ක සහ නිශාන් මධුෂ්කගේ ලකුණු 88 ක ඉනිම් ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන ලද අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ අද (30 දා) රාත්‍රියේදී සමත්වූහ. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති මෙම තරගයේදී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 187 ක දැවැන්ත ජයක් වාර්තා කළ සී. සී. සී. ක්‍රීඩකයෝ අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනා ගත් පරිද්දෙන්ම එක්දින ශූරතාවද දිනා ගත්හ. සොනාල් දිනූෂගේ නායකත්වයෙන් යුතු සී. සී. සී. කණ්ඩායමට ශූරතා කුසලාන සමග මුදලින් රු. ලක්ෂ 30 ක මුදලක් සහ අනුශූරතාවට පත් පොලිස් කණ්ඩායමට ලක්ෂ 25 ක මුදලක්ද හිමිවිය.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම අවසාන මහා තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට රැස් කළ ලකුණු 387ට පිළිතුරු ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පන්දුවාර 40.2ක දී සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 200ක් පමණකි. පොලිස් ඉනිම නිමාවට පත් වනවිට තවත් පන්දුවාර 9.4ක් ද ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

පොලිස් කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම ලකුණු 46 කදී බිඳ දැමීමට ඉනූක කරන්නාගොඩ ප්‍රමුඛ සී. සී. සී. පන්දු යවන්නෝ සමත්වූහ. අවසානය මෙන්ම පොලිස් පිලේ ආරම්භයද අසාර්ථක එකක් බවට පත්වූයේ 14 වැනි පන්දුවාරය අවසන් වන විටම ලකුණු 86 කට කඩුලු 5 ක්ම අහිමි වීමයි. සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වු වමතින් දඟපන්දු යැවු 20 හැවිරිදි ඉනුක කරන්නාගොඩ ලකුණු 32කට කඩුලු හතරක්ම දවාලීමට සමත් විය.

 මේ දිවා රාත්‍රී තරගයේ විශේෂතම සිදුවීමක් වුයේ සී.සී.සී. කණ්ඩායමේ අංක පහ දකුණත් පිතිකරු පවන් රත්නායක පන්දු 94ක දී හතරේ පහර 13ක් සහ හයේ පහර නවයක් සමග නොදැවී ලකුණු 158ක් රැස් කිරීමය. පවන් රත්නායක ලකුණු 100 සිට 150 දක්වා වූ ලකුණු පනහ රැස් කළේ පන්දු 17ක් පමණක් වැය කරමිනි. ඒ අතරතුරදී නලීන් ප්‍රියදර්ෂනගේ පන්දුවාරයට එල්ල කරන ලද හයේ පර 4 ත් සමගින් රැස් කරන ලද ලකුනු 25 ද සමගිනි.

පන්දු 94 කින් සමන්විත වුණු රත්නායනගේ නොබිඳුණු ලකුණු 158 ක ඉනිම සඳහා ඔහු හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත් කර තිබුණේය. මෙම ඉනිම ප්‍රධාන කොට ඔහුට අවසන් මහ තරගයේ වීරයා සම්මානයද පිරිනමනු ලැබිණ. ඒ වෙනුවෙන් ඔහුට එම කුසලාන සමග මුදලින් රු. හත්ලක්ෂ පනස්දහසක මුදලක් හිමිවිය.

පොලිස් පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් සී. සී. සී. පිතිකරුවෝ අවසන් පන්දුවාර 5 දී ලකුණු 86 ක් උදුරා ගත්හ. සොනාල් සහ රත්නායක අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 190 ක් විය. මදි නොකියන්නට සී. සී. සී. පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වුණු පොලිස් පන්දු යවන්නන් අතරින් ආරම්භක පන්දු යවන්නා වූ චාරුක ප්‍ර මෝද්ගෙන් පමණක් ලකුණු 92 ක් උදුරා ගෙන තිබුණේය.

මෙම තරගය නැරඹීම සඳහා සී.සී.සී. පිටියට පැමිණ සිටි දැවැන්ත ජනකාය හමුවේ කාසියේ වාසිය දිනූ සී. සී, සී, නායකයා කාසියේ වාසියත් සමඟින් නොපැකිළිවම පන්දුවට පහර දීමට තීරණය කළේය. ඔවුන් රැස් කරන ලද ලකුණු 387හි පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 7.74ක් ලෙස ඉහළම මට්ටමක පැවැතිණි.

 ඉනිම ආරම්භයේ දී පොලීසියේ ආරම්භක පන්දු යවන්නා චාරුක ප්‍රමෝද් විජේලත් ප්‍රථම පන්දු වාරයේ අවසාන පන්දුවේ දී ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ (00) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ද නැවතත් ඔහුගේ පස් වන පන්දු වාරයේ අවසාන පන්දුවේ දී ධනංජය ද සිල්වාගේ (02) කඩුල්ල බිඳ දමමින් සී. සී. සී. කණ්ඩායම අපහසුතාවයට පත් කළේය.  එහෙත් පොලිස් ක්‍රීඩා සමාජයේ එම උද්‍යෝගය සහ ප්‍රීතිය රැඳී පැවැතියේ එම ආරම්භක අවස්ථාවේ පන්දුවාර පහක් හයක් වනතුරු පමණකි.

තෙවන කඩුල්ලට අනෙක් ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක (88) සහ අංක හතර පිතිකරු කමිඳු මෙන්ඩිස් (59) පන්දු 111ක දී ලකුණු 130ක සබඳතාවයක් පවත්වමින් ශක්තිමත් ගමනකට අඩිිතාලම එක් කළහ.  මීට අමතරව සී.සී.සී. ඉනිමට ජීවය කැවු ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 85ක දී හතරේ 15ක් හයේ පහරක් සමග ලකුණු 88ක් ද කමිඳු මෙන්ඩිස් පන්දු 52ක දී හතරේ පහර දහයක් සමග ලකුණු 59ක් ද සොනල් දිනුෂ පන්දු 51ක දී හතරේ දෙකක් හයේ දෙකක් සමග ලකුණු 52ක් ද රැස් කළේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි  තම ආධාර ක්‍රීඩාලෝලී අමන්දානන්දනයට පත් කරමිනි.

 පොලිසිය වෙනුවෙන් එකම අර්ධ ශතකය සහ වැඩිම ලකුණු ලාභියා වු අංක පහ පිතිකරු ප්‍රියමල් පෙරේරා පන්දු 56ක දී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 57ක් රැස් කළේය. මීට අමතරව වේගවත් පිතිහරඹයක නිරත වු අංක තුන පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 31ක් රැස් කළේ පන්දු 17ක දී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගය.

තරගාවසානයේ පැවැති ජය සංඛේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න, ලේකම් බන්දුල දිසානායක සහ විධායක කමිටු සාමාජික සහ තරග සංවිධායක කමිටු සභාපති නලීන් අපෝන්සු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස බී. ආර්. සී. ක්‍රීඩා සමාජයේ මොවින් සුබසිංහ ද දක්ෂතම පිතිකරු ලෙස කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සංගීත් කුරේද සම්මාන දිනාගත්හ. ඔවුන් දෙදෙනාට එම කුසලානවලට අමතරව මුදලින් රුපියල් මිලියනය බැගින් පිරිනැමිණ. මීට අමතරව තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ තනුක දාබරේද දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සී. සී. සී. කණ්ඩායමේ නිශාන් මදුෂ්කද සම්මාන දිනා ගත්හ. මොවුන් දෙදෙනාට අදාළ කුසලාන සමග පිළිවෙළින් රු. ලක්ෂ දොළහමාර සහ ලක්ෂ 15 බැගින් පිරිනැමිණ.

සී.සී.සී. පන්දුවාර 50දී කඩුලු 5ට 387යි – (පවන් රත්නායක නොදැවී 158, නිශාන් මධුෂ්ක 88, කමිඳු මෙන්ඩිස් 59, සොනල් දිනුෂ 53, චාරුක ප්‍රමෝද් විජේලත් 92/2, චාරුක ජයතිලක 65/2, අෂේන් බණ්ඩාර 37/1)

 පොලිස් ක්‍රීඩා සමාජය පන්දුවාර 40.2දී සියල්ල දැවී 200 යි – (ප්‍රියමල් පෙරේරා 57, කුසල් පෙරේරා 31, ජේසන් ප්‍රනාන්දු 26, විෂාඩ් රන්දික 22, නලින් ප්‍රියදර්ශන 19, ඉනුක කරන්නාගොඩ 32/4, චමිඳු විජේසිංහ 36/2, සොනල් දිනුෂ 27/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee