slc
logo
Home   |    News
ජූලි 27, 2025
අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් – ගාල්ල සහ කොළඹ අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න්  පහළ ශ්‍රී ලංකා යූත් ලීිග් බාළිකා ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් මූලික වටය යටතේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරග වරම් දිනා ගැනීමට අද (27 දා) සමත්වූහ. මෙම අවසන් මහ තරගය මේ මස 29 වැනිදා කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරග වලදී ප්‍රථමයෙන්ම ගාලු කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 29 ක ජයක්ද දඹුල්ලට එරෙහිව පස්වරුවේ පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම කඩුලු 5 ක ජයකුත් වාර්තා කරමින් එම සුවිශේෂී අවසන් මහ තරග අවස්ථාව දිනාගත්හ. ගාල්ල කණ්ඩායම අද වාර්තා කරන ලද්දේ පිට පිටම සිව්වැනි ජය වීම කැපී පෙනෙයි.

මූලික වටය යටතේ අවසන් තරගය දිනය වන හෙට (28 දා) දිනයේදී ගාල්ල කණ්ඩායමට කොළඹ කණ්ඩායමට එරෙහි තරගය පමණක් ඉතිරිව තිබෙන නමුත් එම තරගයේ ප්‍රතිඵලය, දෙපිළටම අවසන් මහ තරගයට ක්‍රීඩා නොකිරීමට තරම් බලපෑමක් එල්ල නොවනු ඇත. මන්ද යත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන දඹුල්ල කණ්ඩායම, මහනුවර කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වෙන තරගය ජය ගත්තද දෙවැනි ස්ථානයේ පසුවන කොළඹ කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (07)  අභිබවා යා නොහැකිවීම හේතුවෙන්. දඹුල්ල කණ්ඩායම මෙවර තරගවාරයේදී තරග 5 කදී තරග 2 ක් ජය ලබමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ඇතත් හෙට තරගයේදී ඔවුන් ජය ගත්තද ඔවුන්ට හිමි වන්නේ ප්‍රසාද ලකුණු 06 ක් පමණක් වීමයි.

මේ අතර අද පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී සංජනා කාවින්දි මෙවර තරග වාරයේ දෙවැනි අර්ධ ශතකයද වාර්තා කළාය. මෙවර තරගාවලියේ පිතිකාරිණියක් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සංජනා අද වාර්තා කරන ලද ලකුණු 58 සටහන් විය.  හතරේ පහර 9 කින් සමන්විත ඇයගේ මෙම ඉනිම සඳහා පන්දු 52 කට මුහුණ දී තිබුනාය. සංජනා මීට පෙර ඉකුත් 25 වැනිදා දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුනු 57 ක් රැස් කිරීමට සමත් වූවාය.

මෙම තරගයේදී සෙත්මි නෙහාරා සමග ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුනු 75 ක සාර්ථක ආරම්භයක් එක් කිරීමට සමත්වූහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් නෙතඟි ඉසුරාංජලී සමග එක්වුණු සංජනා එම කඩුල්ල වෙනුවෙන්ද පන්දු 43 කදී ලකුණු 41 ක් එක් කිරීමට දායකත්වය දැක්වූවාය.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමේ එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට ගාලු පන්දු යවන්නියන් සමත් වුවත්, ජයග්‍රහණය සඳහා අවශ්‍ය දළ වේගය රඳවා ගැනීමට ඔවුන්ට නොහැකිවීම නිසා නියමිත පන්දුවාර 20 අවසනදී මහනුවර පිතිකාරිණියන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි.

සෙසු තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 102 ක් රැස් කරන ලදුව එම ඉලක්කය හඹා ගිය කොළඹ කණ්ඩායම පන් 17 ක් සහ කඩුල 5 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණිය වූ උමයංගනා පීරිස් පන්දු 45 කදී ලකුණු 52 ක් රැස් කරමින් පිතෙන් දස්කම් දැක්වූවාය. එම අර්ධ ශතකය මෙවර තරග වාරයේ වාර්තා වුණු තෙවැනි අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය.

ගාල්ල පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුනු 139 යි – (සංජනා කාවින්දි 58, සෙත්මි නෙහාරා 25, නෙතඟි ඉසුරාංජලී 34, මිතලි අයෝද්‍යා 31/2, අසේනි තලගුනේ 17/1, චමෝදි මෙන්ඩිස් 22/1)

මහනුවර පන්දුවාර 20 කදී කඩුල්ලක් දැවී ලකුණු 110 යි – (චංචලා බොලවත්ත 48*, විමෝක්ෂා බාලසූරිය 44*)

කොළඹට කඩුලු 5 ක ජයක්

දඹුල්ල පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 102 යි – (නෙත්මි උපේක්ෂා 32, දිනායා ගමගෙදර 23, යසාලි ජිතාරා 17/2, යෙවදි වෙනීසා 08/2)

කොළඹ පන්දුවාර 17.1 කදී කඩුලු 5 ක් දැවී ලකුනු 103 යි – (උමයංගනා පීරිස් 52, ලිහන්සා ද සිල්වා 27*, දනුලි තෙන්නකෝන් 17/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee