slc
logo
Home   |    News
අගෝස්තු 5, 2025
ශ්‍රී ලංකා විස්සයි-20 ලීගය නොමිලේ නැරඹීමේ අවස්ථාව

sinhala editor

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. නිල්, කොළ සහ අළු යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අගෝස්තු මස 07 දා (අනිද්දා) ආරම්භ වනු ඇත .

සිම්බාබ්වේ තරග සංචාරයට ඉලක්ක ගත කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන මෙම තරගාවලියේදී ජාතික තරු, පළමු පෙළ ක්‍රීඩකයින් මෙන්ම නැගීඑන කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා සියල්ල සජීවීව දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත.

ප.ව. 1.30 ට ආරම්භ වන මෙම තරගාවලියේ සමාරම්භක තරගයේදී නිල් සහ කොළ කණ්ඩායම් තරග වදිනු ඇත. තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දොරටු ප.ව. 12.30 සිට විවෘතව තැබෙනු ඇත.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 4 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර එහිදී වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගනු ලබන කණ්ඩායම් අගෝස්තු මස 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී මුණ ගැසෙනු ඇත.

සිම්බාබ්වේහි පැවැත්වෙන සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙන බැවින් ඊට පෙරහුරුවක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar