ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවැති තරගයකදී හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 7ක ජයක් ලැබීය. මෙම ජයග්‍රහණය චමරි අතපත්තු ප්රමුඛ හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල අපරාජිතව පිට පිට ලැබූ 5 වැනි ජයග්‍රහණය විය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට සියලු දෙනා දැවී ලකුණු 42ක් ලබාගත් අතර, හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළේය.
ඒස් කැපිටල්, පළමු කඩුලු තුන ලකුණු 5කට දැවී ගිය අතර, එම අසීරුතාව දිගින් දිගටම පැවැතියේය. හයවැනි කඩුල්ලට යෙසාලී ජිතේන්ද්රා හා ජනාදි අනාලි පන්දු 29කදී රැස්කළ ලකුණු 12ක සබඳතාව ඉනිමේ හොඳම සබඳතාව වූවේය.
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල පන්දු යවන්නියන් සිව්දෙනාම කඩුලු බිඳහෙලා ඒස් කැපිටල් පිල බලවත් අපහසුතාවකට පත් කළහ. ෂශිනි ගිම්හානී කඩුලු 3ක් හා කාව්‍යා කාවින්දි, සුලේෂා සත්සරණී, දෙව්මි විහංගා කඩුලු 2 බැගින් බිදහෙලීමට සමත් වූහ.
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකාරිණී කාව්‍යා කාවින්දි පන්දු 31කදී හතරේ පහරක් සමඟ ලකුණු 14ක් ලබාගත් අතර, සුමුදු නිසංසලා පන්දු 21කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 26ක් ලබා ජයග්‍රහණයට මඟ පෑදුවාය.
ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 42 (23.3)
තිව්යාංජලී 7, යෙසාලී ජිතේන්ද්රා 11, අතිරේක 9 (කාව්‍යා කාවින්දි 7/2, ෂශිනි ගිම්හානී 19/3, සුලේෂා සත්සරණී 7/2, දෙව්මි විහංගා 7/2)
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 3ක් දැවී ලකුණු 45 (11.1)
කාව්‍යා කාවින්දි 14, සුමුදු නිසංසලා නොදැවී 26 (දේවාගී ජෙගනාදන් 12/1, වැනීසා රොද්‍රිගූ 4/2)




