ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (13 දා) පැවැති තරගයේදී බ්ලූස් කණ්ඩායමට එරෙහිව සිව්වැනි තරග පරාජයත් අත්කර දෙමින් කඩුලු 6 ක ජයක් වාර්තා කර ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ දෙවැනි ජය ලෙසින් සනිටුහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟම ලබන 16 වැනිදා ග්‍රීන්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාවද ග්‍රේස් කණ්ඩායම උදා කර ගත්තේය.
කොළඹ එස්. එස්. සී. ක්‍රීිඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බ්ලූස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 178 ක් රැස් කළ නමුත් එම ඉලක්කය හඹා ගිය චරිත් අසලංක ප්‍රමුඛ ග්‍රේස් පිතිකරුවෝ පන්දුවාර 17.1 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසු කර ගියහ.
ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන් ශක්තිමත් ආරම්භයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 25 කින් ලකුණු 44 ක් ද නිරෝෂන් දික්වැල්ල පන්දු 11 කින් ලකුණු 21 ක්ද ලබා ගත්හ. බැලූ බැල්මට අසීරු ඉලක්කයක් වුවත් පළමු කඩුල්ලේ පන්දු 25 ක ලකුණු 55 ක වේගවත් සම්බන්ධතාව මත තරගයේ වාසිය ග්‍රේස් කණ්ඩායම අතට පත්විය.
පළමු කඩුල්ල ලෙස දික්වැල්ල ලකුණු 55 දී ගිය අතර චන්දිමාල්ද මුලු ලකුණු සංඛ්‍යාව 63 ක් තිබියදී දැවී ගියේය. එතැන් පටන් තරගයේ වගකීම අරගත් නුවනිඳු ප්‍රනාන්දු සහ චරිත් අසලංක දෙදෙනා සිව්වැනි කඩල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් පවත්වමින් පන්දු 17 ක් ඉතිරිව තිබියදී තරගය නිමා කළහ.
තරගාවලිය පුරාම ලකුණු අතර සිටින නුවනිඳු හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 34 කදී නොදැවී ලකුණු 50 ක්ද නායක අසලංක හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 45 ක්ද ලබා ගත්හ. මොවුන් දෙදෙනා විසින් මතීෂ පතිරණ සහ රවිඳු ප්‍රනාන්දුගේ පන්දු හමුවේ අනුකම්පා විරහත පිතිහර්‍යක නිරත වීම කැපී පෙනුණි. මෙහිදී ග්‍රේස් පිලේ අවසන් පන්දුවාර 7 ඇතුළත ලකුණු 10 ට වඩා අඩුවෙන් ලබා ගත් එකම පන්දුවාරය වූයේ 11 වැනි පන්දුවාරය පමණි. එම පන්දු වාරයේදීද ඔවුහු ලකුණු 09 ක් ලබා ගත්හ.
බ්ලූස් කණ්ඩායම අද දිනයේදී මෙහෙයවන ලද්දේ පැතුම් නිස්සංක විසින් වන අතර කාසියේ වාසියත් සමග ඔහු පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙහිදී සාර්ථක ආරම්භයක් එක් කළ පැතුම් (30) සහ විශේන් හැළඹගේ (32) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 60 ක් එක් කළහ. මොවුන් දෙදනොගේ දැවී යෑම, බ්ලූස් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගයට සෘජු බලපෑමක් එක් කළ අතර නම් දැරූ පිතිකරුවකු වන නිශාන් මදුෂ්ක දැවී යන විටත් ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 5 ට ලකුණු 102 ක් ලෙසිනි.
කෙසේ වෙතත් තරගයේ පාලනය අතට ගත් දසුන් ශානක සහ රවිඳු ප්‍රනාන්දු දෙදෙනා එක්ව පන්දු 39 කදී ලකුණු 76 ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 178 ක් හෙවත් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් රැඳවීමට සමත්වූහ. මෙහිදී දසුන් පන්දු 19 කදී හයේ පර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් ලබා නොදැවී රැඳී සිටිද්දී රවිඳු ප්‍රනාන්දු පන්දු 24 කදී හයේ පහරක් සහ හතර් පහර 5 ක් සමගින් ලකුණු 41 ක් ලබා ගත්තේය. ඔහු අවසන් පන්දුවේදී දුවද්දී දැවී යෑමකට හසුවූවේය.
මූලික තරග වටය යටතේ පැවැත්වීමට නියමිත අවසන් තරගය හෙට (13 දා) දිනයේදී පැවැත්වෙන අතර එහිදීද අවසන් මහ තරගයට වරම් ලබා සිටින ග්‍රේස් සහ ග්‍රීන්ස් අතර පැවැත්වීමද අවසන් මහ තරගයට පෙර පුහුණු තරගයක් ලෙසින් යොදා ගැනීමේ අවස්ථාව දෙපිළටම උදාවී තිබේ.
බ්ලූස් පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ට ලකුණු 178 යි – (පැතුම් නිස්සංක 30, විශේන් හැළඹගේ 32, නිශාන් මදුෂ්ක 23, ධනංජය ද සිල්වා 01, අෂේන් බණ්ඩාර 08, දසුන් ශානක 35*, රවිඳු ප්‍රනාන්දු 41, ගරුක සංකෙත් 46/2, චරිත් අසලංක 08/1, විජයකාන්ත් වියස්කාන්ත් 15/1, සහන් ආරච්චිගේ 13/1)
ග්‍රේස් පන්දුවාර 17.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179 යි – (දිනේෂ් චන්දිමාල් 44, නිරෝෂන් දික්වැල්ල 21, ළහිරු උදාර 02, නුවනිදු ප්‍රනාන්දු 50*, චරිත් අසලංක 45, සහන් ආරච්චිගේ 02, ධනංජය ද සිල්වා 14/1, අසිත ප්‍රනාන්දු 28/1, මතීෂ පතිරණ 32/2)






