තවත් දින 8 ක කාලයකින් ආරම්භ වනු ලබන ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලානය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව සලසාලමින් සිදුකෙරෙන කුසලාන සංචාරය (Trophy Tour) අද (22 වැනිදා), කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙ.ව. 10.30 ට පැවැති කුසලාන නිරාවරණයෙන් ආරම්භ විය. මෙම කුසලාන සංචාරය සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා වූ කාලය ඇතුළත පැවැත්වේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම සිව්දින කුසලාන සංචාර වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබයි. පාසල් ක්‍රීඩිකාවන් සම්බන්ධ කර ගනිමින් පැවැත්වෙන සුහද ක්‍රිකට් තරගාවලියක්, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙන්ම ක්‍රීඩා ලෝලී ජනතාවට එම කුසලාන දැක බලා ගැනීමේ අවස්ථාවද මෙම කුසලාන සංචාරයට ඇතුළත් වේ.
මාධ්‍ය වෙනුවෙන් අද දිනයේදී සිදුකෙරුණු එම කුසලාන නිරාවරණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහ ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ අවස්ථාවට කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් වන හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වාද පිරිමි කණ්ඩායමේ සාමාජිකයින් වන දිනේෂ් චන්දිමාල් සහ විශ්ව ප්‍රනාන්දු ද සහභාගිවූහ.
මෙම කුසලාන සංචාර වැඩසටහනට සමගාමීව බාළිකා පාසල් වල දැරිවියන්ගේ සහභාගිත්වයෙන් කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ද හෙට (23 දා) පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියට කොළඹ අනුලා, විශාකා, සිරිමාවෝ සහ මොරටුව වේල්ස් කුමරි යන විදුහල්වල ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතව සිටිති.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වන තරුකා ෂෙහානි, හංසිමා කරුණාරත්න, කෞෂනී නුත්‍යාංගනා සහ චේතනා විමුක්තිගේ සහභාගිත්වයෙන් පෙ.ව. 10.00 සිට පැවැත්වෙන මෙම සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සඳහා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුරතලුන්‘ (Mascot) වන බ්ලේස් (Blaze) සහ ටොන්ක් (Tonk) ද පැමිණෙනු ඇත.
කුසලාන සංචාරයේ තෙවැනි දිනය වන සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුළුණ පරිශ්‍රයේ ප.ව. 4.00 සිට ප.ව. 8.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා තැබෙනු ඇත. මෙම අවස්ථාවේදී එම ලෝක කුසලානය සමග එකට සිට ඡායාරූප ලබා ගැනීම වෙනුවෙන් මහජනතාවට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.
සැප්තැම්බර් මස 30 වැනිදා සත්කාරකයින් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.





