ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර පැවති අවසාන මහ තරගය ප්‍රතිඵල රහිත වීම මත කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙසින් අද (24 දා) අභිෂේක ලදහ.
එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙදින අවසාන මහා තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සී.සී.සී කණ්ඩායම කඩුලු අටකට රැස් කළ ලකුණු 361 ට (පන්දු වාර 106) පිළිතුරු ලෙස අද තරගය නිම වන විට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු හතරකට ලකුණු 169 ක් (පන්දු වාර 54 යි) රැස් කර සිටියේ ය. තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් වූ හෙයින් කණ්ඩායම් දෙකම සම සූරයන් ලෙසින් නම් කෙරිණි.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා මෙන්ම දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ තරින්ද නිර්මාල් ගුරුගේ තේරී පත්විය. අවසාන මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ සී.සී.සී කණ්ඩායමේ නායක අංජල බණ්ඩාර ය. තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත්වූයේ නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා ය.
සී.සී.සී කණ්ඩායම පසුගිය මාස තුනයි දින දහයක් තුළ දිනාගත් තෙවැනි අන්තර් සමාජ ක්රික ශූරතාව මෙය වන්නේය. මීට පෙර ඔවුන් මේ වසරේදී ම පැවැති අන්තර් සමාජ විස්සයි විස්ස සහ එක්දින සූරතාව දිනාගන්නා ලද්දේ ද මේට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදීය.
මේ වසරේ (2025) ජුලි මස 30 වැනිදා සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති අන්තර් සමාජ එක්දින අවසන් මහා තරගයේ දී සී.සී.සී කණ්ඩායම ලකුණු 187 කින් පොලීසිය පරදා එක්දින සූරතාව හිමිකර ගත්තේ ය. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත් එම තරයේදී සී.සී.සී කණ්ඩඩායම කඩුලු 5 ට කුණු 387 ක් රැස් කර ගත් අතර ප්‍රතිවාදී පොලි්ස පිලට පන්දුවාර 40.2 කදී සියල්ල දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 200 ක් පමනි.
මෙම තරගයේ ප්‍රථම දින (23) තරගය නිම වනවිට කඩුලු හයකට ලකුණු 278 ක් ලබා සිටි සී.සී.සී කණ්ඩායම අද දෙවන දින දිවා ආහාරයෙන් පසු පන්දු වාර 106 කදී කඩුලු 8කට ලකුණු 361 ක් ලබා සිටියදී තම පන්දුවට පහර දීමේ වාරය අත්හිටුවා බ්ලූම්ෆීල්ඩ්ට පන්දුවට පහර දීමේ වාරය උදා කළේය.
ප්‍රථම දින තරගය නිම වනවිට නොදැවී ලකුණු 115 ක් ලබා සිටි සී.සී.සී නායක අංජල බණ්ඩාර අද මුළු ලකුණු 344 දී නිසල අබේරත්නගේ පන්දුවකට තරිඳු හර්ෂණ උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේ ලකුණු 143 කට ය. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ අංජල බණ්ඩාර හත්වන කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 259 කට මුහුණ දී හතරේ පහර 19 ක් එල්ල කර සිටියේ ය.
අද දිනයේ සී.සී.සී වෙනුවෙන් කැපී පෙනුණු අනෙක් පිතිකරුවා වූ අංක අට පිතිකරු එෂාන් විතානගේ ඉක්මනින් ලකුණු රැස් කරමින් පන්දු 52 කදී හතරේ පහර හතක් සමග ලකුණු 40 ක් ලැබීය. සී.සී.සී හත්වන කඩුල්ලට අංජල සහ එෂාන් පන්දු වාර 17.4 කදී එක්කළ සබඳතාවය ලකුණු 67 කි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ මිහිරංග නිම්සර සිල්වා ලකුණු 78 කට කඩුලු හතරක් දවාලූවේය.
අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසු තම ප්‍රථම ඉනිම ඇරඹූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පන්දු වාර 54 කදී කඩුලු හතරකට ලකුණු 169 ක් ලබා සිටිය දී දිනයේ තරගය නිමාවට පත්වන ලදී.
බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු නායක මිනෙත් ප්‍රේමරත්න ලකුණු 55 ක් රැස් කළේ පන්දු 112 කට මුහුණ දී හතරේ පහර හතක් ද එල්ල කරමිනි. අංක පහ පිතිකරු සවිඳු රුද්‍රිගෝ පන්දු 127 කට මුහුණ දී හතරේ හතක් සමඟ නොදැවී ලකුණු 53 ක්ද අංක හතර පිතිකරු අසිත වන්නිනායක පන්දු 48 කදී හතරේ හතරක් සමඟ ලකුණු 30 ක් ද ලැබීය.
බ්ලූම්ෆීල්ඩ් තෙවන කඩුල්ලට නායක මිනෙත් ප්‍රේමරත්න සහ අසිත වන්නිනායක ලකුණු 41 ක සබඳතාවක් ද සිව්වන කඩුල්ලට මිනෙත් සහ සවිඳු ගුරුගේ ලකුණු 88 ක සබඳතාවක් ද තබා ගනිමින් සවස් වරුවේ කැපී පෙනුණි.
ලකුණු විස්තරය
සී.සී.සී පළමු ඉනිම කඩුලු 8ට 361 (පන්දු වාර 106)
(අංජල බණ්ඩාර 143 ඉනුක කරන්නාගොඩ 56 පවන් සංදේශ් 43 එෂාන් විතානගේ 40 අරෝෂ සිතුමිණ 19 මිහිරංග නිම්සර සිල්වා 78/4 නිසල අබේරත්න 64/3 තරිඳ නිර්මාල් ගුරුගේ 92/1 යි)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම තරගය නිම වනවිට කඩුලු 4 ට 169 යි. (පන්දු වාර 54යි)
(මිනෙත් ප්‍රේමරත්න 55, සවිඳු රුද්‍රිගෝ නොදැවී 53, අසිත වන්නිනායක 30, තරිඳු හර්ෂණ නොදැවී 11, දුවිඳු රණතුංග 38/2, ඉනුක කරන්නාගොඩ 44/1, සෙත්රු ප්‍රනාන්දු 35/1)





