ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ඩිස් යුගල වූ කුසල් සහ කමිඳු එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ගොඩනංවන ලද ලකුණු 52 ක නොබිඳුණු සම්බන්ධතාව ප්‍රධාන කොට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ පැවැති අවසන් තරගයේදීද ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. මේ සමඟම මූලික තරග වටයේ සහභාගිවූ තරග 3 න් 3 ම ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව සුපිරි කණ්ඩායම් සිව්දෙනාගේ තරග වටයට පිවිසියහ.
මෙම තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ගනිස්තානු කණ්ඩායමට මෙම තරගයේ ජය අනිවාර්යය විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අත්කරගත් මෙම සුපිරි ජයත් නිසා මූලික වටයේ තරග 2 ක් පමණක් ජය ගත් බංග්ලාදේශ කණ්ඩායමට ‘බී‘ කාණ්ඩයේ දෙවැනි කණ්ඩඩායම ලෙසින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමට හැකියාව ලැබිණ.
19 වැනි පන්දුවාරයේ තෙවැනි සහ සිව්වැනි පන්දු දෙක පිළිවෙළින් හතරේ සීමාව වෙත යැවීමට සැලැස් වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණය සනිටුහන් කරනු ලැබුවේ තවත් පන්දු 8 ක් ලකුණු පුවරුවේ ඉතිරි කරවමිනි. ඒ වන විටත් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4 ක් පමණක් දවා ගැනීමට ඇෆ්ගන් පන්දු යවන්නෝ සමත්ව සිටියහ.
තරගයේ ජය ශ්‍රී ලංකාවේ නම ඉදිරියෙන් සනිටුහන් වන විට අද්විතීය ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ගේනම ඉදිරියෙන් පන්දු 52 කදී ලකුණු 74 ක්ද කමිදු මෙන්ඩිස්ගේ නම ඉදිරියෙන් පන්දු 13 කදී ලකුණු 26 ක්ද සනිටුහන්ව තිබිණ. මෙහිදී කුසල් තම ඉනිම හතරේ ප හර 10 කින් සරසා ගනිද්දී කමිඳු මෙන්ඩිස් හයේ පහර 2 ක් පමණක් තම ඉනිමට එල්ල කර තිබුණේය.
දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් පීඩනයට ලක් කිරීමේ අදිටනින් කාසියේ වාසියත් සමගම ඇෆ්ගනිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ව නොසිතූ අසීරුවකට ඇද දැමූහ. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු නුවන් තුෂාර මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වන විටම ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනා නරඹන්නන් බවට පත් කළහ. එතැනින් නොනැවතුණු දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ පීඩනය වැඩි කරමින් පන්දු යැවීම නිසා 13 වැනි පන්දුවාරය වන විටත් ඇෆ්ගනිස්තානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6 කට ලකුණු 79 ක් වශයෙනි.
මෙකී තත්ත්වය ප්‍රධාන කොට ඇෆ්ගනිස්තානු කණ්ඩායමට ලකුණු 120 සීමාව පවා ඉක්මවා යෑම අසීිරු බවක් පෙනෙන්නට තිබූ නමුත්, අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 49 ක් උදුරා ගැනීමට මොහොමඩ් නබී ප්රමුඛ ඇෆ්ගනිස්තානු පිතිකරුවන් සමත්වීම නිසා තරගයේ ස්වභාවය මුළුමනින්ම වෙනස් වන්නට විය. ඒ අනුව 19 වැනි පන්දුවාරය ආරම්භ වන විට කඩුලු 7 කට ලකුණු 120 ක් ලෙසින් සටහන් වුණු ඇෆ්ගනිස්තානු ලකුණු පුවරුව 20 වැනි පන්දුවාරය අවසන් වන විට සටහන් වූයේ කඩුලු 8 කට ලකුණු 169 ක් වශයෙනි.
විස්සයි-20 තරගයකදී අවසන් පන්දු වාරය යැවීම සඳහා දඟ පන්දු යවන්නකුට භාර දීම අසාමාන්‍ය දෙයක් වුවත්, නායක චරිත් අසලංකගේ තේරීම වූයේ එම පන්දුවාරය දුනිත් වෙල්ලාලගේට ලබා දීමය. ඒ අනුව පන්දුව අතට ගත් වෙල්ලාලගේට එරෙහිව හයේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් උදුරා ගැනීමට මොහොමඩ් නබී සමත්වූවේය. ඊට පෙර පන්දු වාරය යැවූ දුෂ්මන්ත චමීරට ද එරෙහිවද පිට පිට හතරේ පහර 3 ක් එල්ල කළ නබී එම පන්දුවාරයේදී ලකුණු 17 ක් උදුරා ගත්තේ ශ්‍රී ලංකා පිල කිසි විටෙකත් නොසිතූ තැනකට තරගය රැගෙන යමිනි. එය චමීරගේ අවසන් පන්දුවාරය වූ අතර එම ප්‍රහාරයත් සමග ඔහුගේ පන්දුවාර 4 ඇතුළතදී ලකුණු 50 ක් උදුරා ගැනීමට ප්රතිිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ.
ඉනිමේ අවසන් පන්දුවාරයේදී දුවද්දී දැවී යනිවිට මොහොමඩ් නබී පන්දු 22 කදී ලකුණු 60 ක් ලබා සිටියේ තම ඉනිම හයේ පහර 6 කින් සහහතරෙ පහර 3 කින් සරසා ගනිමිනි. නායාක රෂීඩ් ඛාන් පන්දු 23 කදී රැස් කරන ලද ලකුණු 24 හැරුණු කොට ගෙන එම ඉනිමේ වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ඊබ්‍රහිම් සද්රාන් රැස් කරන ලද ලකුණු 24 පමණි. මෙහිදී රෂීඩ් ඝාන් සමග 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 35 ක් රැස් කළ නබී 8 වැනි කඩුල්ල වෙනුවෙන් නූර් අහමඩ් සමග රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව පන්දු 18 කදී ලකුණු 55 ක් විය.
18 වැනි පන්දුවාරය යැවූ නුවන් තුෂාර රශීඩ් ඛාන්ගේ කඩුල්ලද දවා ගත් අතර එහිදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 4 කදී ලකුණු 18 කට කඩුලු 4 ක් වශයෙනි.
ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 169 යි – (මොහොමඩ් නබී 60, රශීඩ් ඛාන් 24, රාහ්මනුල්ලා ගුර්බාස් 14, සෙදිකුල්ලා අටල් 18 කරීම් ජැනට් 01, ඩව්රිෂ් රුසෝලි 09, අස්මාටුල්ලා ඔමරසායි 06, නූර් අහමඩ් 06*, නුවන් තුෂාර 18/4, දුෂ්මන්ත චමීර 50/1, දුනිත් වෙල්ලාලගේ 49/1, දසුන් ශානක 29/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 18.4 කදී කඩුලු 4 ක් දැවී ලකුනු 171 යි – (කුසල් මෙන්ඩිස් 74*, කමිඳු මෙන්ඩිස් 26&, කුසල් පෙරේරා 28, පැතුම් නිස්සංක 06, කමිල් මිශාර 04, චරිත් අසලංක 17, මුජීබ් උර් රෙහ්මාන් 42/1, අසාමතුල්ලා ඔමර්සායි 10/1, මොහොමඩ් නබී 20/1, නූර් අහමඩ් 37/1)





