ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව ‘බී‘ කාණ්ඩයේ පෙරමුණගත් ශ්‍රී ලංකාව සුපිරි හතර දෙනාගේ වටයේදී එම කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූ බංග්ලාදේශය සමඟ හෙට (20) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයට පිවිසෙයි.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ වඩාත් ආධිපත්‍යය දැරූ කණ්ඩායම බවට පත්වෙමින් මූලික වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජයට පත් කිරීමේ වාසිය මත සුපිරි 4 වටයට බංග්ලාදේශය පිවිසියේය. පළමු වටයේදී ශ්‍රී ලංකාව වෙතින් කඩුලු 6කින් බංග්ලාදේශය පරාජයට පත්ව ඇති බැවින් සුපිරි 4 වටයේ පළමු තරගයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මානසිකව ප්‍රබල තත්ත්වයකට පත්ව සිටිති.
පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින අතර, තරග තුනකදී අර්ධ ශතක දෙකක් ඇතුළුව ලකුණු 124 ක් ලබා ගනිමින් පිතිකරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටී. කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් ද ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දු 52කින් වේගවත් ලකුණු 74ක් ලබා ගනිමින් දස්කම් අතරට පිවිස සිටිද්දී වමත් පිතිකරු කමිල් මිෂාර ද බංග්ලාදේශයට එරෙහි නිමාවූ තරගයේදී පන්දු 32කදී නොදැවී ලකුණු 46ක් ලබා කාගේත් අවධානය දිනාගත් පිතිකරුවෙකු බවට පත් විය. නායක අසලංක, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක මැද පෙළට ශක්තියක්වී සිටිති.
දකුණත් වේග පන්දු යවන නුවන් තුෂාර මේ දක්වා දවාගැනීම් පහක් සමඟ තරගාවලියේ සිව්වන වැඩිම කඩුලු ලාභියා බවට පත්ව ඇති අතර, දුෂ්මන්ත චමීර ද නව පන්දුවෙන් කඩුලු ලබා දක්ෂතා අතර සිටී. ශ්‍රී ලංකාවට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සේවය අහිමි වූයේ සිය පියාගේ අභාවයෙන් පසු යළි නිවසට යාමට සිදුවීමෙනි.
බංග්ලාදේශ පිතිකරණ රටාව තවමත් කනස්සල්ලට කරුණක්වී ඇති අතර, තරගාවලියේ සිව්වන වැඩිම ලකුණු ලාභියා වන ලකුණු 96ක් ලබා ඇති නායක ලිටන් දාස් පමණක් ඉදිරියෙන් සිටී. ඔවුන් බලාපොරොත්තු රඳවා සිටි ටැන්සිඩ් හසන් සහ තවුහිඩ් හ්‍රිඩෝයි තරග තුනකදීම ලබා ඇත්තේ පිළිවෙලින් ලකුණු 66ක් හා ලකුණු 69ක් පමණි.
සුපිරි 4 වටයේ ඉදිරි තරග තුන පිළිබඳ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පැවැසූවේ පිතිකරණ අංශය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ හොඳින් ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිවාදී සියලු කණ්ඩායම්වලට තර්ජනයක් ලබාදීමේ හැකියාව ශ්‍රී ලංකා පිල සතුව පවතින බවය.
“ඇත්තටම සුපිරි 4 වටයේ තරග දෙකක් පැවැත්වෙන ඩුබායි තණතිල්ල හොඳ එකක්. ඩුබායිවල අපි ගොඩක් තරග ක්‍රීඩා කරලා තියෙනවා. විකට් එක අබුඩාබිවලට වඩා ටිකක් වේගය අඩු වෙයි. මේ වේලාවේ නුවන් හා දුෂ්මන්ත හොඳින් පන්දු යවනවා. වනිඳු ප්‍රතිවාදීන්ට හොඳ තර්ජනයක් ලබා දෙනවා. මහීෂ් ඉන්නවා අනෙක් පැත්තෙන් පන්දු යවන්න. පාකිස්තානය වුණත් ඉන්දියාව වුණත් දෙපාරක් හිතෙනවා අපි ගැන. මොකද අපි ආසියානු කුසලාන තරගවලදී ඔවුන් සමඟ හොදින් ක්‍රීඩා කරලා තියෙනවා. අපි පළමු වටයේ තරග තුනම ජයගත්තා. ටීම් එකක් විදිහට හොඳ විශ්වාසයක් තියෙනවා. තරග තුනේදීම එක්කෙනෙක් පමණක් නොවෙයි දක්ෂතා දැක්වූවේ. හැමෝම දක්ෂතා අතර සිටිනවා. අපේ කව්රු හරි තරගයකදී අත උස්සලා ක්‍රීඩා කරලා තියෙනවා. ඒක තමයි කණ්ඩායමේ ධනාත්මක තත්ත්වය“ කුසල් මෙන්ඩිස් පැවැසීය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාව අබුඩාබි ක්‍රීඩාංගණයේදී මේ 23 වැනිදා පාකිස්තානය සමඟ හා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ 26 වැනිදා ඉන්දියාව සමඟ තරගය පැවැත්වීමට නියමිතය. සුපිරි හතර දෙනාගේ වටයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක මේ 28 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී හමුවේ.





