slc
logo
Home   |    News
සැප්තැම්බර් 23, 2025
අංජල – ඉනුක සී.සී.සී ඉනිම ඔසවා තබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (23) ආරම්භ වූ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර අවසාන මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සී.සී.සී කණ්ඩායමේ හයවන කඩුල්ලට නායක අංජල බණ්ඩාර (නොදැවී ලකුණු 115ක්) සහ ඉනුක කරන්නාගොඩ (56) රැස් කළ ලකුණු 160 ක සබඳතාවයෙන් දිනය නිමවන විට සී.සී.සී කණ්ඩායමට කඩුලු හයකට ලකුණු 278 ක් රැස් කර ප්‍රබල ස්ථානයක පසුවීමට අවස්ථාව උදා විය.

සී.සී.සී කණ්ඩායම ලකුණු 117කට කඩුලු පහක් දැවී සිටියදී එක්වූ අංජල සහ ඉනුක හයවන කඩුල්ලට ලකුණු 160 ක් රැස් කළේ පන්දු වාර 54.2 කට (පන්දු 326කට) මුහුණ දෙමිනි.

නායකත්ව ඉනිමක නිරත වූ අංජල බණ්ඩාර ප්‍රථම දින තරගය නිමාවන විට නොදැවී ලකුණු 115 ක් ලබා සිටියේ පන්දු 211කට මුහුණ දී හතරේ පහර 15 ක්ද සමඟ ය. අංක හත පිතිකරු ඉනුක කරන්නාගොඩ කණ්ඩායමේ අවශ්‍යතාව මත පරීක්ෂාකාරීව, ඉවසිලිවන්තව පන්දුවට පහර දෙමින් ලකුණු 56 ක් රැස් කළේ පන්දු 178 කට මුහුණ දී හතරේ පහර පහක් සහ හයේ පහරක් ද සමඟ ය.

සී.සී.සී වෙනුවෙන් මෙදින පන්දුවට පහර දීමේ දී දක්ෂතා දැක්වූ අනෙක් පිතිකරුවා වූයේ පවන් සංදේශ් ය. (43)

බ්ලූම්ෆීල්ඩ් පන්දු යවන්නන් අතුරින් දිනයේ කැපී පෙනුණු පන්දු යවන්නා වූ මිහිරංග නිම්සර සිල්වා ලකුණු 56කට කඩුලු තුනක් දවාලුවේ ය.

කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම සී.සී.සී කණ්ඩායමට පැවරීමට ය.

සී.සී.සී පිතිකරුවන් තරගය ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් කඩුලු හතරක් දැවී ලකුණු 99 ක් (පන්දු වාර 23යි) රැස් කර සිටියේ එතරම් සාර්ථක ආරම්භයක් නොගනිමිනි. දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් තවත් පන්දු වාර 29 කට මුහුණ දුන් සී.සී.සී කණ්ඩායම එම කාලසීමාව තුළ කඩුල්ලක් දැවී ලකුණු 76ක් රැස් කළේ පරීක්ෂාකාරීව සෙමින් ලකුණු එක්කරමිනි.

සවස තේ විවේකය සඳහා තරගය නතර කරන විට මොවුන් කඩුලු පහක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 175 කි. (පන්දු වාර 52යි.) සවස තේ විවේකයෙන් පසු තරගය නිමවන තෙක් පන්දු වාර 34 ක් තුළදී සී.සී.සී පිතිකරුවන් ලකුණු 103 ක් රැස් කිරීමට සමත් විණි.

මෙදින තරගය ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් කාලය තුළ පන්දුවට පහර දුන් පිතිකරුවන් අතුරින් කැපී පෙනුණේ කණ්ඩායමේ අංක තුන පිතිකරු පවන් සංදේශ් ය. ආරම්භක කඩුල්ල ලකුණු නවයේ දී  (පන්දු වාර 3.2) බිඳ වැටුණු පසු පැමිණි පවන් සංදේශ් දිවා ආහාරයට තරගය නතර කිරීමට පන්දු වාර දෙකක් ඉතිරිව තිබියදී (පන්දු වාර 21 ක් අවසානයේ) දැවී ගියේ ලකුණු 43 කට ය. (පන්දු 49 යි හතරේ පහයි හයේ දෙකයි)

පවන් සංදේශ් දෙවන කඩුල්ලට ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ (ලකුණු 19යි) සමඟ ලකුණු 32 ක සබඳතාවයක් ද තෙවන කඩුල්ලට පවන් රත්නායක සමඟ තවත් ලකුණු 32 ක සබඳතාවයක් ද තබා ගත්හ. ආක්‍රමණශීලී පිතිකරුවකු වන පවන් රත්නායකට මෙදින රැස් කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

හෙට තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

ලකුණු විස්තරය

සී.සී.සී පළමු ඉනිම පළමු දින තරගය නිමාවනවිට කඩුලු 6කට ලකුණු 278 යි. (පන්දු වාර 86)

(අංජල බණ්ඩාර නොදැවී 115 ඉනුක කරන්නාගොඩ 56 පවන් සංදේශ් 43 අරෝෂ සිතුමිණ 19 පවන් රත්නායක 12 මිහිරංග නිම්සර සිල්වා 56/3 නිසල අබේරත්න 60/2 තරිඳ නිර්මාල් ගුරුගේ 50/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee