විග්නේෂ්වරන් ආකාශ් සහ චාමික හීනටිගලගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණ.මේ සමඟම තරග 7 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ සිටියි.
කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 39.2 ක් ඇතුළත සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු යාපනය හාට්ලි විදුහලින් පැමිණි විග්නේෂ්වරන් ආකාෂ් කඩුලු 4 ක් ද චාමි `2ක හීනටිගල කඩුලු 4 ක් ද දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනිණි.
මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලද චාමික හීනටිගල පන්දුවාර 10 දී එක් නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 33 කදී කඩුලු 4 ක් දවා ලූවේය. ඔහු දවා ගත් කඩුලු අතරින් පිතිකරුවන් තිදෙනෙකුම කොදෙව් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනා අතරින් පන්දුවට පහර දීමට පැමිණි අය විය.
මෙම තරගාවලියට පෙර සූදානමක් ලෙසින් පළාත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ඉකුත්දා අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ බස්නාහිර උතුරු පිලේ නායකයා ලෙසින් චාමික හීනටිගල කටයුතු කළේය. කොළඹ මහනාම විදුහලින් බිහිවූ චාමික වයස අවුරුදු 16 ක් වන විටම පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමද සුවිශේෂී සිදුවීමකි.
ඊට අමතරව මැණික් කටුව උපයෝගී කර ගනිමින් පන්දු යවන විග්නේෂ්වරන් ආකාෂ් පන්දුවාර 8.2 කදී නිලකුණු පන්දු වාරයක් ද සමගින් ලකුණු 19 කට කොදෙව් ඉදිරිපෙළ කඩුලු 4 ක් දවා ගත්තේය. 17 හැවිිදි වියේ පසුවන විග්නේෂ්වරන් පෙර තරගයේදීද කුණු 30 ක් ඇතුළත පිතිකරුවන් 3 දෙනෙකු දවා ලමින් එම තරගයේ කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්විය.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විරාන් චමදිත පන්දු 70 කදී ලකුණු 64 ක් රැස් කරමින් පිත්තෙන් වැඩි දායකත්වයක් දැක්වූවේ හතරේ පහර 10 ක්ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහුගේ සාර්ථක ආරම්භයත් ආක්‍රමණශීලී පාලනයත් නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කිසිදු පහසුවකින් තොරව තරගය ජය ගැනීමට පාර සැකසිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ ලකුණු පුවරුවේ තවත් පන්දුවාර 27 ක්ම ඉතිරිව තබා ගනිමිනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවී ගිය පිතිකරුවන් වූයේ පුලීෂ තිලකරත්න (21) සහ සෙනුජ වෙකුණගොඩ (07) ය. මෙම තරගාවලියේ එකම ශතක ලාභියා බවට පත්ව සිටින අංක 4 පිතිකරු කවීජ ගමගේ පන්දු 35 කදී ලකුණු 28 ක් ලබා ගනිමින් විරාන් චමුදිත සමඟ ශ්‍රී ලංකා යොවුන් පිලේ ජය සනාථ වන තෙක් කඩුල්ලේ රැඳී සිටියහ.
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම පන්දුවාර 39.2 කදී සියලු දෙනා දැවී ලකුණු 138 යි – (අර්සින්හෝ ෆොන්ටේන් 51, ජොෂුවා ඩ්‍රෝන් 29, ටයිරෙක් බ්‍රයන් 24, විග්නේෂ්වරන් ආකාස් 19/4, චාමික හිනටිගල 33/4, සෙත්මික සෙනෙවිරත්න 19/1)
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 22 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 139 යි – (විරාන් චමුදිත 64, පුලීෂ තිලකරත්න 21, සෙනුජ වෙකුණගොඩ 07, කවීජ ගමගේ 28*, ජායි ගිටන්ස් 30/2)






