අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා ලෝක කුසලාන තරග මාලාවේ 13 වැන්න හෙවත් 2025 තරගාවලිය හෙට (30) සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ගුවාතිහි බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. දෙවතාවකම ලෝක කුසලාන අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත්ව සිටින ඉන්දීය කණ්ඩායම සිය සත්කාරකත්වය යටතේ මෙවර ශූරතාව දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායමද ඊට නොදෙවැනි අයුරින් තරග වැදීම සඳහා සූදානමින් පසු වේ.
හෙට තරගාවලිය ආරම්භ වන විට එක්දින කාන්තා කණ්ඩායම් අතර ශ්‍රේණිගත කිරීම්හි ඉන්දිියාව තෙවැනි ස්ථානයේ සිටද ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිටද සටන් වදිති. එහෙත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසන්නේ ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවන්නේ දැඩි පීඩනයකින් යුක්තව වන බැවින් ඉන් උපරිම ප්‍ර යෝජන ලබා ගැනීම තමන් ඇතුළු කණ්ඩායමේ අභිප්‍රාය වී තිබෙන බවයි.
‘ඇත්තටම අපිට මේ තරගාවලියේදී නැතිවෙන්න දෙයක් නෑ. නමුත් ඉන්දියාව එහෙම නොවෙයි. ඔවුන් මේ තරගාවලිය අනිවාර්යයෙන්ම ජය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි මේ තරගාවලියට එන්නේ ශූරතාව දිනා ගැනීමට හැකි කණ්ඩායමක් විදියට නොවෙයි. නමුත් අපිට අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂතා ඇති නවක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නිසා හෙට තරගය පිළිබඳව අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන සිටිනවා“ යැයි ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු තරගාවලියට පෙරාතුව සඳහන් කර සිටියාය.
‘අපිට ලොකු බලාපොරොත්තු නෑ. තරගයෙන් තරගය තමයි අපි සැලසුම් කරන්නේ. මුලින්ම ඉන්දියාවට එරෙහි තරගය. මගෙත් මේ තුන්වැනි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ. ඒ වගේම අපි මේ ලෝක කුසලාන ඉතිහාසයේ කවදාවත් අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණිලා නෑ. ඒ නිසා අපේ මූලිකම ඉලක්කය වෙලා තියෙන්නේ මූලික වටය හොඳින් අවසන් කරලා අපේ පළමු අරමුණ වෙන අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසෙන්න. ඒ නිසා අපිට ඉන්දියාවට එරෙහි තරගය ඉතා වැදගත්. ඊට එහා දේවල් ගැන පස්සේ බලමු“ යැයිද චමරි සඳහන් කර සිටින්නීය.
චමරි එසේ සදහන් කර සිටියද ඉන්දීය කණ්ඩායම යනු ලොව වැඩිම වෘත්තීය ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම වේ. නායිකා හර්මන්ප්‍රිට් කෞර් මෙන්ම ආරම්භක පිතිකාරිනි ස්මිත්‍රී මන්දනා ඔවුන් සතු ප්‍රබලම පිතිකාරිණියන් වේ. ඊට අමතරව ජෙමීමා රොඩ්‍රිගස්, හර්ලීන් ඩියෝල්, ප්‍රීතිකා රාවල්, සහ තුන් ඉරියව් ක්‍රීඩිකා දීප්ති ෂර්මා ද ඔවුන් සතු බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ ක්‍රීඩිකාවෝ වෙති. මෙවන් පිතිකරණ පෙළගැස්මක් සහිත කණ්ඩායමක් ඉන්දීය කණ්ඩායම සතු වුවද චමරි අතපත්තු ඇතුළු නඩය හමුවේ ඔවුන් මින් පෙර පරාජයට පත්ව තිබීමද කැපී පෙනෙයි.
“ඇත්තටම අපි ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය කීපයක්ම වාර්තා කරලා තියෙනවා. ඒ දේවල් අපිට හෙට තරගය සඳහා හොද ධනාත්මක බලාපොරොත්තු බවට පත් වෙලා තියෙනවා“ යැයි චමරි සඳහන් කර සිටින්නීය.
ගෙවී ගිය මාස 18 කට ආසන්න කාලය ඇතුළතදී චමරිට අමතරව කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ද දක්ෂතා අතරට පිවිසීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී සුභවාදී බලාපොරොත්තු එක් කරවන්නකි. මෙතෙක් ඉතිහාසයේ එක්දින තරග අංශය යටතේ ශතක වාර්තා කිරීමට සමත් එකම පිතිකාරිණිය බවට චමරි අතපත්තු සමත්ව සිටියද එකී කාල සීමාවේදී හර්ෂිතා සමරවික්‍රම මෙන්ම කෝඩු කාර පිතිකාරිණී විශ්මි ගුණරත්නද ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක සමාජයට ඇතුළත්වීමට සමත් ක්‍රීඩිකාවෝ බවට පත්ව සිටිති.
මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර බංග්ලාදේශයට එරෙහිව පැවැති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක් ලකුණක පරාජයක් ලැබුවද එම තරගයේදී ක්‍රීඩා කළ විලාශය සැබැවින්ම අගය කළ යුත්තකි. ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියෝ එම තරගය පරාජයට පත් වූයේ එක් ලකුණක පරතරයකිනි. එහෙත් එම තරගයේදී ඔවුන්ගේ සටන්කාමී විලාශය ඉතා ඉහළ මට්ටමක පැවැතිණ.
එම තරගයේදී හර්ෂිතාට අමතරව, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි සහ හසිනි පෙරේරා හෙට දිනයේදී ස්නේ රානා, රේ්ණුකා සිං, අරුන්දතී රෙඩි, ක්‍රාන්ති ගේඩි සහ දීප්ති ෂර්මාගෙන් සමන්විත ඉන්දීය පන්දු යවන්නියන්ට අභියෝග කළ හොත් තරගාවලිය සමාරම්භයට ජයග්‍රාහී ප්‍ර වේශයක් ලබා ගැනීමට හැකියාව පවතිනු ඇත.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය පළපුරුදු වේග පන්දු යවන්නියක වන උදේශිකා ප්‍ර බෝධනී ද දඟ පන්දුව හිටපු නායිකා ඉනෝකා රණවීරද පෙරමුණ ගනු ඇත. ඊට අමතරව නවක ක්‍රීඩිකා දෙව්මි විහංගා සහ සුගන්ධිකා කුමාරි මෙන්ම මල්කි මදාරාද ශ්‍රී ලංකා පන්දු යැවීමේ ප්‍රධාන භූමිකාවන් රග දක්වනු ඇත.
දෙරට අතර එක්දින ඉතිහාසයේදී දෙපිළ අවස්ථා 34 කදී මුණ ගැසී තිබෙන අතර ඉන් 31 වතාවක් ඉන්දියාවධ තෙවතාවක් ශ්‍රී ලංකාවද ජය වාර්තා කර ඇත. දෙරට අතර වැඩිම ලකුණු ලද පිතිකාරිණියන් අතර ස්මිත්‍රී මන්දනා ලකුණු 614 ක් ලබා සිටින අතර චමරි අතපත්තු ලකුනු 464 ක් ලබා සිටින්නීය. පන්දු යැවීමේදී දීප්ති ෂර්මා කඩුලු 24 ක් දවා ගනිද්දී ඉනෝකා රණවීර කඩුලු 14 ක් දවා එම පන්දු යවන්නියන් අතර පෙරමුණේ පසුවෙති.
ඉන්දීය සංචිතය – හර්ලීන් ඩියෝල්, හර්මන්ප්‍රීට් කෞර් (නායිකා), ජෙමීමා රොඩ්‍රිගස්, ප්‍රතිකා රාවවල්, ස්මිත්‍රී මන්දනා, අමන්ජෝත් කෞර්, දීප්ති ෂර්මා, ස්නේ රානා, රීෂා ගෝෂ්, උමා චෙට්‍රි, අරුන්දත් රෙඩී, ක්‍රාන්ති ගෞඩ්, රාධා යාදව්, රේනුකා සිං, ශ්‍රී චරණි.
ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායකා), හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, නිලක්ෂි ද සිල්වා, විශ්මි ගුණරත්න, දෙව්මි විහංගා, කවීෂා දිල්හාරි, පියුමි වත්සලා, අනුෂ්කා සංජීවනී, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, මල්කි මදරා, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍ර බෝධනී.





