ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ පළමු තරගයේදී පිතිකරණ අංශයේ කිසිඳු වෙනසක් සිදුනොවන බවත්, වේග පන්දු යවන්නන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් තරගයට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පැවැසීය. වනිඳු හසරංග කණ්ඩායමේ සිටින බැවින් කණ්ඩායම වඩාත් ශක්තිමත්වී ඇති බවත් හෙතෙම පැවැසූවේ බංග්ලාදේශ තරගයට පෙර ඊයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
“තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත පැමිණීම අපට ඇත්තෙන්ම හොඳ දෙයක්. මම හිතන්නේ ඔහු අපේ සුදු පන්දු ආකෘතියේ සුපිරි තරුවක්. ඒ නිසා නායකයෙකු ලෙස, වනිඳු කණ්ඩායමේ සිටීම ඇත්තෙන්ම හොඳයි කියා මා හිතනවා. අපි අන්තිමට ක්‍රීඩා කළ සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කළ පිතිකරණ අංශයේ වෙනසක් වන එකක් නෑ. අවසන් එකොළහ පිළිබඳ තවම අවසන් තීරණයක් ගෙන නෑ. වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒ මගේම නුවන් තුෂාර කණ්ඩායමේ හිදීවි“ චරිත් අසලංක පැවැසීය.
“ තරගාවලිය හොඳින් ආරම්භ කරන එක හොදයි. මේ තරගාවලිය ඉතාම තරගකාරී එකක්. හැම කණ්ඩායමක්ම ඇවිල්ලා ඉන්නේ හොඳ ගේම් එකක් දෙන්න. අපිත් හොඳ සැලසුම් හදාගෙන ඉන්නවා. තරගයෙන් තරගයට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ“
“ අනිවාර්යෙන්ම විස්සයි20 වගේ කෙටි ආකෘති ක්‍රිකට්වල පළවෙනි පිතිකරුවන් තුන්දෙනාට තමයි වැඩිපුර පන්දුවලට මුහුණ දෙන්න වෙන්නේ. පැතුම්- කුසල් වගේ ආරම්භක පිතිකරුවන් දෙන්නෙක් කණ්ඩායමේ ඉන්න එක වාසනාවක්. ඔවුන් ලබාදෙන අඩිතාලම ජයග්‍රාහීව අවසන් කිරීමේ වගකීම මා ඇතුළු මැදපෙළට යොමු වෙනවා. ඒක තමයි පිතිකරුවන්ට එල්ලවන අභියෝගය. මම හිතන්නේ අබුඩාබි පිතිකරුවන්ට හොඳම තණතීරුවක්. පන්දුව මෘදු වූ පසු මෙහි පිතිකරණය කිරීම බොහෝ පහසුයි. සෑම පිතිකරුවෙක්ම අබුඩාබියේ ක්‍රීඩා කිරීමට කැමතියි”
“අපි හිටපු ශූරයින්. ඒක අපේ මානසිකත්වයට හොඳ දෙයක්. ශූරතාව දිනා ගනිද්දී ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ තරගාවලියේ ඉන්නවා. ඔවුන් හොදින් ක්‍රීඩා කරනවා. බංග්ලාදේශයත් පහුගිය කාලය පුරාවටම හොදින් ක්‍රීඩා කළා. අපි ඒ පැත්ත ගැන ලොකුවට බලන්නේ නෑ. අපට අවශ්‍ය වන්නේ අපගේ මූලික කරුණු සහ සැලසුම් නිසි ලෙස අනුගමනය කර ඒවා හොඳින් ක්‍රියාත්මක කිරීමයි” අසලංක මාධ්‍ය හමුවේදී පැවසීය.





