ලකුණු 203 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දුන්නද පන්දු 58 කදී ලකුණු 107 ක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පැවැති අවසාන තරගයේදී සිය අපරාජිත භාවය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවට සුපිරි පන්දු වාරයේ සහාය ලබා ගන්නට සිදුවිය.
විස්සයි-20 තරග ආකෘතිය යටතේ ක්‍රියාත්මක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශතකයක් ලද තෙවැනි පිතිකරුවා ලෙසින් පැතුම් නිස්සංක ඉතිහාස ගත වූ මෙම තරගයේ නියමිත ඉන්දියාව ලබා දුන් ලකුණු 203 ක ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව සුපිරි පන්දුවාරය දක්වා දිග්ගැස්සුණු මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 02 ක් පමණක් වූ අතර ඉන්දියාව එය පළමු පන්දුවෙන්ම රැස් කර ගත්තේය.
විස්සයි-20 තරග දිවියේ පැතුම් රැස් කරන ලද මංගල ශතකය ලෙසින් සනිටුහන් වුණු මෙම ඉනිම සඳහා ඔහු හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය. නුපුරුදු උෂ්ණ කාලගුණයත්, විදුලි ධාරා මධ්‍යයේ පන්දුවට පහර දීම නිසා පැතුම් දැඩි වෙහෙසට පත්ව සිටි බැවින් සුපිරි පන්දුවාරයට පන්දුවට පහරදීමෙන් ඔහු වැළකී සිටියේය. එම තත්ත්වය මත පිටියට පිවිසිනේ කුසල් පෙරේරා සහ දසුන් හානක වන නමුත් ඔවුන් දෛනාම අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 02 ක් පමණි.
ආරම්භක පිතිකරුවකු ලෙස මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගියද කුසල් ජනිත් පෙරේරාට එක් වූ පැතුම් නිස්සංක, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 127 ක් එක් කිරීම නිසා තරගය ත්‍රාස ජනක අවසානයක් දුටු තරගයක් බවට පත්විය. මෙම ලකුණු සම්බන්ධතාව ආසියානු කුසලාන ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව විය. මීට පෙර එම වාර්තාව වට පත්ව තිබුනේ 2022 වසරේදී ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් දෙදෙනා එක්ව ඇෆ්ගනිස්තානයට එරෙහිව රැස් කර තිබූ ලකුණු 119 ක සම්බන්ධතාව විය.
මෙම හඹා යෑමේදී පවර් ප්ලේ පන්දුවාර 6 අවසනදී ලකුණු 72 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූවේය. එය පවර් ප්ලේ අවස්ථාවකදී මෙවර තරගාවලියේ වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. මේ වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා පන්දු 25 බැගින් අර්ධ ශතක පසුකර ගියහ.
මොවුන් දෙදෙනාගේ පිතිහරඹය මත පන්දුවාර 11 ක් තුළදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ එක් කඩුල්ලකට ලකුණු 130 ක් ලෙසින්. මෙම තත්ත්වය මත තරගයේ සමස්ථ පාලනයම ශ්‍රී ලංකා පිල සතු වූයෙන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට කර කියාගත දෙයක් නොහැකි විය. එහෙත් ඉන්දීය දඟ පන්දු යවන්නන් වූ කුල්දීප් යාදව් සහ වරුන් චක්‍රවර්ථි පෙලිවෙල් පන්දුවාර කීපයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභීයෝගයක් වන සේ යැවීමට සමත්වීමත් වරුන් කුසල් පෙරේරාව දවා ගැනීමට සමත්වීමත් නිසා ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාර 5 දී ඉලක්කය ලුකණු 46 ක් බවට පත්විය.
හයේ පහරකින් සිය මංගල විස්සයි-20 ශතක රැස් කර ගත් පැතුම්, ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දක්වන ලද සිව්වැනි පිතිකරුවා බවට පත්විය. ඔහුට පෙර මහේල ජයවර්ධන, ටී.එම්. ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා විස්සිය-20 ආකෘතියේ ශතක ලද පිතිකරුවන් බවට පත්ව සිටිති.
කෙසේ වෙතත් මොවුන් රැගෙන ආ තරගය නිසා ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 12 ක් අවශ්‍ය විය. ඒ අවස්ථාවේදී හතරේ පහරක් එල්ල කිරීමට දසුන් සමත්වීම නිසා අවසන් පන්දු 2 දී ශ්‍රී ලංකා ඉලක්කය ලකුණු 7 ක් විය. පස්වැනි පන්දුව හතරේ සීමාව දක්වා යැවීමට දසුන් සමත්වූ නමුත් අවසන් පන්දුවේදී අවශ්‍ය වූ ලකුණු 03 වෙනුවට දසුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 2ක් වූයෙන් තරගය සුපිරි පන්දුවාරය දක්වා තල්ලු වූවේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් රැස් කළේය. එය ආසියානු කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. මෙහිදී ක්‍රියාත්මක වුණු අභිෂේක් ෂර්මා පන්දු 31 කදින් ලකුනු 61 ක් රැස් කරද්දී මැද පෙලින් පැමිණි තිලක් වර්මා පන්දු 34 කදීි නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තේය.
සුපිරි උඩ පන්දුවකින් ශුබ්මන් ගිල්ව දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුවද දෙවැනි කඩුල්ලට පන්දු 33 කින් ලකුණු 59 ක් එක් කිරීමට සූර්යකුමාර් යාදව් සහ අභිෂේක් ෂර්මා සමත්වූහ. මෙම තරගාවලියේ ලකුණු මැෂිම බවට පත්ව සිටින ෂර්මා තම තෙවැනි අර්ධ ශතකය මුහුණ දුන් 22 වැනි පන්දුවේදී සපුරා ගත්තේය. විස්සයි-20 තරග අංශයේ පිතිකරුවන් ශ්‍රෙණිගත කිරීම්හි අංක 1 ස්ථානයේ රැඳී සිටින අභිෂේක් ෂර්මා පන්දු 31 කින් ලකුණු 61 ක් රැස් කර ගත්තේ පවර් ප්ලේ අවස්ථාව වන විට ඉන්දිීය ලකුණු පුවරුව 71 ක් දක්වා ඉදිරියට රැගෙන යමිනි.
ඉන්දියාව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 202 යි – (අභිෂේක් ෂර්මා 61, සූර්යකුමාර් යාදව් 12, තිලක් වර්මා 49*, සංජු සැම්සන් 39, හර්දික් පාණ්ඩ්‍යා 02, අක්සාර් පටෙලන් 21*, මහීස් තීක්ෂණ 36/1, දුෂ්මන්ත චමීර 40/1, වනිදු හසරංග 37/1, දසුන් ශානක 23/1, චරිත් අසලංක 18/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 202 යි – (පැතුම් නිස්සංක 107, කුසල් මෙන්ඩිස් 00, කුසල් පෙරේරා 58, චරිත් අසලංක 05, කමිඳු මෙන්ඩිස් 03, දසුන් ශානක 22*, ජනිත් ලියනගේ 02, හර්දික් පාණ්ඩ්‍යා 07/1, අර්ශ්දීප් සිං 46/1, හර්ෂිත් රානා 54/1, කුල්දීප් යාදව් 31/1, වරුන් චක්‍රවර්ති 31/1)






